Thursday, April 9, 2015

කනගාව දිනුව මගේ දූ වෙනුවෙන්....

‘කවෝදි කනගාවා චිත්‍ර තරගයෙන් ලංකාවෙන් තේරුණ තුන්දෙනා අතර ඉන්නවා.එයාගෙ සම්පූර්ණ විස්තර එවන්න‘
ප්‍රවීන චිත්‍රකලා ආචාර්ය බෝගහවත්ත මහතා ද සිය සිසුවිය ගැන ඇති කරගත් අප්‍රමාණ ප්‍රීතියෙන් තෙපලන විට ඇයගේ දෙමව්පියන් ලෙස අපට දැනෙන හැගීමේ තෘප්තිය සහ සතුට වචනවලට දමා කිරන්නට නොහැකිය.

ජීවිතයේ නොලැබෙන දේවල් වලට වෛර කිරීම, ඒ වෙනුවෙන් ඊර්ෂ්‍යා කිරීම ජීවිතය නොවිය යුතු බව මගේ දැක්මය. ආනිසංස ගැන මට මහත් විශ්වාසයක් නැතත් නොලැබෙන සහ නොලැබුණ දේ ගැන නොසිතා තවකෙකුට යමක් ලබා දිය හැකිනම් වෙහෙසෙන හිත හැදෙන්නේ එතැන් සිටය.

මා තාත්තා කෙනෙක් වූ දිනයේ දැනෙන සතුට තරමටම දුකක් කාලය විසින් මසිත මත තෙරපූ දිනය මා මතක තබා ගන්නේ නැත.

‘සාමාන්‍ය වයසෙ වැඩ කරන්න අමාරුයි.අවුරුදු 8 - 9 ක් විතර පහළින් ඉදියි හැම වෙලාවෙම.

මහාචාර්ය හේමමාලි පෙරේරා එසේ කියන විට කඩා වැටුණ හිත මා එසැණින් යළි පිළිසකර කර ගත්තේය.ඒ වන විටත් මා දත් දේ නොමිළේම අනුරුද්ධ බාලිකා වැනි පාසල් දියණියන්ට මෙන්ම විවිධ තැන් හී අවධානය යොමු නොවූ පුතුන්ට බෙදා දෙමින් උන්නේය.රටේ ක්‍රීඩා කේෂ්ත්‍රෙය් වත්මන් ප්‍රබලයන් වෙනුවෙන් අරගල කරමින් සටන් වදිිමින් අද අප විදින වර්ථමාන දක්ෂයන් රැසක් නිර්මාණය කිරිම වෙනුවෙන් පෑන මෙහෙයවමින් සිටියේය.

අඳුරු රැයෙක නාට්‍යකරුවෙක් ලෙස හදා ගත් ගණු-දෙනුවත් සමග සමීපතමයෙක් වන වෙඩ්ඩා සමඟ මී විතක් තොලගාන මොහොතක ක්‍රීඩාව ගැන කලාව ගැන මා කියන දේ අකුරු කරන්නට ඔහු ඇරයුම් කරන්නේ ඒ දක්වා මසකට විශාල මුදලක් ලැබෙමින් තිබෙන රජයේ රැකියාවට මා ආයුබෝවන් කියනු ඇතැයි සිහිනයකින් හෝ නොසිතාය. ඒත් මා ලියන අකරුවලට වටිනාකමක් දෙන්නටත්,ඒ අකුරුවලින් මට ලැබෙන වටිනාකමෙන් මා විශ්වාස කරන යථාර්තය සැබෑවක් කරන්නටත් මා තුළ තිබුණු හැගීම මගේ ජීවිතය මුදලින් ලැබිය නොහැකි දැඩි තෘප්තියක වෙලා ගන්නට මට බල කරන්නේය.

මාධය ආයතනයක වෙනත් වෘත්තියක සිට අකුරු ගලපන්නට සේන්දු වන්නෙක් නොවුණ මා දිගින් දිගටම ඒ අකුරු මගේ වෘත්තියට වඩා වගකීම බවට පෙරලා ගන්නේ එතැන් සිටය.ඒ වගකීම අකුරුවලට සීමා නොවී ‘සිපිරිගෙදර‘ කාගෙවත් අවධානයට ලක් නොවූ සිරකරුවන්ගේ නාට්‍ය කුසලතා වර්ධනය දක්වා විහිදෙන්නේද එබැවින්ය.

කෙසේ වුව පුතාගෙන් ඉනික්බිති පවුල තුළ ඇතිවන සියුම් කැළඹිමක් තිබිණ.එය ආත්මීය වේදනාවක් මිස උපන් පුතු ගැන අංශු මාත්‍රයක බිදීමක් නොවේය.හිතවත් වෙදදුරන්,මිතුරන් තවත් එකෙක් ගැන පොළඹවන හැඟිමට මා බිය වූයේ පුතු කෙරෙහි වෙනස් හැඟිමක් නව සාමාජිකයෙකුගේ සම්ප්‍රාප්තියෙන් ඇති වේය යන බියෙන්ය.

නමුත් කලෙකින් දුව අපේ කැදැල්ලට එන්නේය.ඒ ජීවිතයේ බොහෝ වෙනස්කම් කරමින්,උපතේදී ඇගේ මවගේ ජීවිතයට විශාල තර්ජනයක්ද කරමින්ය.සුමානයකට අධික කාලයක් ඇයට සිය මවගේ කිරි බිදක්වත් නොලැබෙන තරමට මව අසාධ්‍ය තත්ත්වයට තල්ලු කළ එම උපත කාලයත් සමඟ අපට දරුවෙක්ගෙන් ලැබිය හැකි වෙනත් සතුටුදායක තත්ත්වයන් කරා තල්ලු කරන බව දැනෙන්නට විය.

මද ආඩම්බරයකින් සහ අභිමානයකින් ජීවත්වන ඇයට අයියාට තරම් කරුණාවන්ත මිත්‍රශීලිකමක් නොවිණ.නමුත් ඇය ඉගැනීමේ මෙන්ම භාහිර ක්‍රියාකාරකම් හී ද කැපී පෙණෙන දක්ෂතාවයක් ඇතිව වැඩුණාය.පාසලේ ශිෂ්‍ය නායිකාවක් මෙන්ම චෙස් කණ්ඩායමේ ප්‍රබල සාමජිකාවක්ද වන ඇය උදෑසන නිවේදන කටයුතුවල නියැලෙන නිවේදිකාවක්ද වන්නීය.ඒ අතර අයියා උදාහරණයට ගෙන හැදෙන්නට ඇති දේ ද අප ඇයට කියා දුන්නාය.පෙන්නා දුන්නාය.

ඇය ක්‍රීඩාවේ වෙහෙස වී කරන ඉසව් කෙරෙහි තවමත් අදක්ෂය.ඒත් ඇයගේ නිවාසයේ දක්ෂතා වර්ධනය කරන වගකීම මට පැවරෙද්දී ඇය ‘නොදුවන,පනින බව මා නොසිතුවේය.අනෙක් දරුවන් වෙනුවෙන් කළ කැපවීම නිසා ඇයගේ නිවාසයට වසර ගණනාවකින් නොලැබි ජයග්‍රහණ රැසක් මෙවර දිනා දෙන්නට මට හැකි විය.

අර හොදට දුවන නංගි ළමා නිවසෙ ඉන්නෙ.අපි එයාට දුවන්න දේවල් අරං දෙමු‘

මා කාලයක සිට පුතාගෙන් සොයමින් සිටි දුවගෙන් අපේක්ෂා කළ වචන ඇසුවේය.

කවෝදි අක්ක තමයි අපේ පංතිය බලා ගන්න එන්නෙ.අක්ක මට ගොඩක් උදව් කරනවා.පාඩම් කියලා දෙනවා.

සිය පංතිය බලා ගන්නට එන ශිෂ්‍ය නායක අක්කා ගැන ඒ වචන ළමා නිවාසෙ දියණියගෙන් ය.

මට වේදනාවට හැඩෙන්නේ නැත.එහෙත් සතුටට ඇස් තෙත් වෙන බව යළිත් පසක් විණ. ඒ ළමා නිවාසෙ දියණිය ක්‍රීඩාවේ අති දක්ෂය.නමුත් හිටි පිම්මේ ජයක් මිස ඇය සතු ජවසම්පන්න ධාවන හැකියාවට ජයක් ලබන්නට නොහැකි විය.ඒ මව්-පිය සෙනෙහස නැති ඇය තුළ වන වික්ෂිප්තභාවයමය.ඇයට ලැබෙන විහේෂ අවස්ථා දරන්නට බැරි අන්දමේ හැඟුම් ඇති වීම නිසාය.

‘මම ලබන අවුරුද්දෙ මේ ස්කොලෙ නැති වුණාට කමක් නැහැ.අර නංගිව දුවවන්න උදව් කරන්න එමු‘

මට දුව ගැන පුදුම ආදරයක් උපදින්නේය.වචන වෙනුවට ඇයව තදින් තෙරපා ගතිමි.

දුව හෙට කුමක් කරයිදැයි කිව නොහැකිය. ඒත් ඇය දැනටමත් බොහෝ දේ දිනා දී අවසන්ය.

අයිය කරන එව කොහෙන් හරි අයියට ලැබෙනව අයියෙ...

මේ දිනවල වතුරුගම මානසික ආබාධ සහිත දරුවන් පුහුණු කරන ආයතනයක නේවාසිකව සිටින පුතා එවැනි නිවාස අතර පැවති ජාතික තලයේ ධාවන තරගයකින් ඔහු සහභාගි වූ කාණ්ඩයේ පළමුවැනියා වූ බව මා මිතුරියකට කී විට ලැබුණු ඒ ප්‍රතිචාරය ඇත්තක් විය හැකිය. කිසිවක් නොපතා බොහෝ දේ කළ මම ඒවායේ ප්‍රතිපල වලින් අපේ රටේ ජාතික ධජය,අන් රටවල ජාතික ධජ අභිබවා ඉහළ නැගෙනු සජීවීව දකින්නට තරම් භාග්‍යවන්තයෙක් වී ඇත.එවැන්නෙක් ජයග්‍රාහී පූවරුව මතට ගොඩවෙන විට උදම් අනමින් රටටම ඇහෙන්නට කියන්නට තරම් භාග්‍යයවන්ත වී ඇත.

ඔක්කොටම කරන්න.තමන්ගෙ ළමයි ගැන විතරක් අමතක කරන්න.

බිරිදගේ නුරුස්සනා බස් වලට පිලිතුරු දැන් ලැබී ඇත.මා නිසා පෙරට ආ දරුවන්ගේ දෙගුරුන්ගේ ඇස් වලින් සතුටු කඳුළු පනින විට මේ සතුටේ කොනක මගේ මිනිහා ඇතැයි සිතා සතුටුවන්නට ඇයට උගන්නනවාට වඩා ඇයගේ ඇස් වල කඳුළුවල සතුට රදවන්නට අපේ දියණියට හැකි වීම ගැන මම බෙහෙවින්ම සතුටු වෙමි.

‘මට බොහෝ දේ නැතුවාට කම් නැත.නුඹගේ දැණුමත් හැකියාවත් සමඟ ස්වාධින ගමණක් සකසා ගන්නා අතරේම ළමා නිවාසේ නැගණිය පිළිබද ඇති වූ හැඟීම ද පුළුල් ලෙස වැඩේ නම්‘ 

වචන නොවුණු හැඟිමෙන් කනගාව ජය වෙනුවෙන් සුබ පැතුම් ඉල්ලා වඩා ගන්නට දෑත දිගු කළ දියණිය මා වඩා ගෙන හුස්ම හිර වෙන තරමට පපුවට තුරුළු කර ගතිමි.

ඡායාරූපය - චානක මධුශංඛ

15 comments:

  1. අපිත් අැයට සුභපැතුවා කියන්න.

    ReplyDelete
  2. සංකල්ප චිත්‍රණය කිරීමේ සහ වර්ණ වලින් හැඟීම් තීව්‍ර කිරීමේ හැකියාවෙන් ඇය ඉතාම පොහොසත්.
    කෙසේ වෙතත් දුව චිත්‍ර ශිල්පිනියක් ම වේ යැයයි සිතිය නොහැකියි. ඇය ඕල් රවුන්ඩර් කෙනෙක්..දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන්නියක්. උඹලගේ පවුලේ ආලෝකය ඇයයි..

    ඉත සිතින්ම සුබ පැතුම්...!!

    ReplyDelete
    Replies
    1. උඹේ සුබපැතුම් ඇයට බොහොම වටිනවා.පුංචි කාලෙ ඉදන් ජීවිතය එකට බෙදා ගත්තු උඹයි මමයි තරම් ලෙංගතු නැතුව ඇති කවුරුවත්

      Delete
  3. සුභපැතුම් පුංචි කවෝදි!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි බස්සියෙ

      Delete
  4. සුපැතුම් දුවේ.....!!!

    චිත්‍රයත් දැම්මා නම් තමා වටින්නේ...

    ReplyDelete
    Replies
    1. උඹ ආයෙමත් සුමිතව ෆෝම් කරනවා.උෘත් අඳින චිත්‍ර පොටෝ එකක් අරං තියා ගන්න කියනවා.කෙහෙද තාත්තගෙ නොසැළකිල්ල.මේක ගෑණි දැක්කොත් කියන්නෙ මේ කතාව
      //ඔක්කොටම කරන්න.තමන්ගෙ ළමයි ගැන විතරක් අමතක කරන්න.// ගොයම් කපන එකක් ඇන්දෙ.උත්සවය දවසට පොටෝ එකක් ලැබෙයි බොහෝ වෙලාවට..එදාට දාන්නම්.

      Delete
  5. හුස්ම හිරවෙනව උඹේ ලියවිලි කියවද්දි. පොඩි එවුන් දෙන්නට සුභපතනව.

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් හුස්ම අල්ලන් හරි අපි අනුන්ගෙ හුස්ම ගැනත් හිතනවා මචං.....බොහොම ස්තූතියි මචෝ

      Delete
    2. ඒ නිසා මම මේක කියෙව්වෙත් නෑ.. මොකෝ කලින් නිව්ස් එක හම්බ උනා...

      Delete
  6. මම හැමදාම කියන දෙයක්නේ උඹේ කතා කියවන්න අමාරුයි කියලා, එත් අමාරුවෙන් හරි කියවන්නේ ඒ හැම එකේම තියෙන්නේ ජීවිතය නිසා.

    දුවට උණුසුම් සුබ පැතුම් මචෝ ...

    ReplyDelete
    Replies
    1. මට කිව්වට උඹේ හැම අකුරක්මත් ජීවිතය.මචං.රිදුනට ඒක ජීවිතයමනෙ මචං.

      ජයවේවා උඹටත්!

      දුවට සුබ පැතුවට ස්තූතියි.

      බෝතලයක් ලැබුණ වෙලාවක සතුටු වෙමු (උඹ බලා ඉද්දි මමයි මාතයි බීලා)

      Delete
  7. කවෝදිලා වගේ දරුවෝ තමයි මේ රටට,සමාජයට ඕනේ නිශ්මන්.
    මගෙත් සුබ පැතුම්!

    ReplyDelete