Saturday, January 16, 2016

අවුල පොලිස් කොමිසමේද.....?

රට පුරා පොලිසියේ හැසිරීම නරක අතට හැරී ඇත.එය පිළිගත යුතුය.මිනිසුන් රැක ගන්නා පොලිසියක් මිස මිනිසුන් මරාදාන පොලිසියක් කිසිවෙක් පැතුවේ නැත.පතන්නේද නැත.

පොලිසියට ඕනෑම දෙයක් කර අත පිස දා ගැනීමට හැකි පරිදි තිබුණු ව්‍යහුය වෙනස් කිරීම සඳහා සමාජ සංශෝධන අපේක්ෂා කළ සියල්ල ‘ස්වාධින පොලිස් කොමිසමක්‘පැතුවේය.දැන් එය පැමිණ ඇත.එවැනි වටපිටාවක පොලිසියේ හැසිරීම සඳහා බලපානු ඇත්තේ කුමන සාධකද?

කුමක් වුව දේශපාලන පදවලට නැටීමට තිබුණු ඉඩ යම් දුරකට හෝ අඩු වී තිබෙන බව පැහැදිළිය.එය 100% ක් නොවුණ ද යහපත් වර්ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කරන්නකි.ඇතැම් තැන්වල පුරුද්ද අත හැරීමට නොහැකි කම නිසා මෙන්ම තවමත් දේශපාලන ඉජුක් ගෑමට  වැනෙන්න බලා සිටින පොලිස් වලිග ඇති බව පිළිගත යුතු සත්‍යයකි.

ඇතැමෙක් දේශපාලනඥ පීඩනයෙන් ගැලවීමේ ආතල් එක විඳින්නේ දේශපාලනය හරහා තමන්ට එල්ල වූ පීඩාව ඔස්සේ දියත් කළ ජඩ වැඩ ස්වීය ආධිපත්‍යය යටතේ විදහාලමින්ය.ඔවුන්පොලිස් කොමිසම ගැන  හිතන්නේ කාගෙවත් අතකොළු නොවී තමන්ට රිසි පරිදි පිණුම් ගසන්නට තනා දුන් සර්කස් එකක් ලෙසය.එවැනි සිතුවිලි ඇතිවන්නේ සහ ක්‍රියාත්මක කරන්නේද තමන් තුළ ඇති ත්‍රාඩ සිතුවිලි මඟින්ය.

නමුත් පොලිස් කොමිසම යනු පොලිස් නිලධාරීන්ට සිය නොපනත්කම් ක්‍රියාත්මක කිරීමට සහ ඒවායෙන් ආරක්ෂා කිරීමට තැනූ ආරක්ෂක කුටියක් නොවන්නේය.එය දියුණු සමාජ අවශ්‍යයතාවයකි.සිවිල් සමාජයේ ආරක්ෂාවට සහ අයිතිවාසිකම්වලට අවශ්‍යය පසුබිම සහ පදනම රැක ගැනීමට ස්ථාපිත වූ ආයතනයකි.

අද වන විට පොලිසියේ මේ ක්‍රියාකාරීත්වයන් මතුවීම පොලිස් කොමිසම පිහිටුවීමෙන් පලක් නැති වීම බව උදාහරණයකට ගන්නා ඇතැම් දේශපාලනඥයන් කරන ප්‍රකාශ පැහැදිළි කරන්නේ නැවත පොලිසිය දේශපාලන අවශ්‍යයතාවයන් සඳහා නතු කර ගැනීමට ඇති උවමනාවය.එය ජඩ දේශපාලන අවශ්‍යයතාවයන් වෙනුවෙන් පොලිසිය යොදා ගැනීමට ඇති අවශ්‍යයතාවය වෙනුවෙන් හඬ නැඟීමකි.ඒ නිසා පොලිස් කොමිසමට එරෙහිව ජනතා මතයක් ඇති කිරීමට දරණ උත්සාහය හැදින්විය හැක්කේ ජනතාව කැමත්තෙන් ආගාධයට තල්ලු කිරීමට පෙළඹවීමක් ලෙසය.

මේ කිසිවක් පොලිස් කොමිසම 100% නිවැරදි බව කියන්නට හෝ පොලිසියට එරෙහිව නැඟෙන ජනතා විරෝධයන් අසාධාරණ බව කියන්නට දරණ උත්සාහයක් නොවන බව කිව යුතුය.නමුත් ජනතාවගේ පරමාධිපත්‍ය බලය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ අවශ්‍යයතාවයක් වන පොලිස් කොමිසමට එරෙහිව ජනතා මතයක් ගොඩ නැඟීමට ඇතැම් දේශපාලනඥයන් දරණ මතය මිත්‍යාවක් බව පැහැදිළි කිරිමට දරණ උත්සාහයකි.එයට නොරැවටී ජනතාව අපේක්ෂා කළ යුත්තේ පොලිස් කොමිසමෙන් වඩා සාධාරණ අවශ්‍යතාවයක් ඉටු කරවා ගැනීමය.ඒ වෙනුවෙන් පෙළ ගැසීමය.ඒ නිසා විරෝධ පොලිසිය දෙසට හරවන ජනතාව සාධාරණය වෙනුවෙන් පොලිස් කොමිසමේ පැවත්මට ආශිර්වාද කළ යුතුය.

අප පැහැදිළිව මේ වන විටත් අත්විදිමින් සිටින්නේ පැවති  දේශපාලන ක්‍රියාකාරීත්වයට අදාළ සිදුවීම්ය.එය ඉතිහාසයේ පැවති ක්‍රමවේදය නිසා එක්වර උගුල්ලා ගලවා දැමිය නොහැකි තත්ත්වයකි.සෙමින් සොලවමින් මුල් බුරුල් කොට ඇද වැටෙන තෙක් බලා සිටීමේ ඉවසිල්ල අප දැරිය යුතුය.

අවශ්‍යය වෙනස අපේක්ෂාවේන් ඡන්දය දුන් ප්‍රමාණය ලක්ෂ හැට දෙකක් වුව ඒ වෙනුවෙන් ජනතා පෙළගැස්ම සකස්කිරීම වෙනුවෙන් අටවා ගත් සංවිධාන ප්‍රමාණය සුළුය.ඒ ඒ සංවිධාන වටා දහස් ගණන් ලක්ෂ ගණන් පෙළ ගැසුනද,එහිදී පත්වන රජය  මේ සංවිධාන ලෙස හදුනාගත්තේ එහි ඉහළින් සිටි පුද්ගලයන්ය.ඔවුන් බොහෝ පිරිසක් පැවති ගොහොරුවේම මඩවලට ප්‍රිය සූඛර චරිත මිස එහි පිපුණු නෙළුම් නොවන බව දැන් පැහැදිළි කරමින් සිටින්නේය.

කතා කළ පරමාදර්ශ වෙනුවට ආත්මාර්ථකාමී හැසිරීම් ප්‍රදර්ශනය කරන, සහෘදයන් වෙනුවට භෞතික සම්පත් තෝරාගන්නා බොරුකාරයන් බව පැහිදිළි කරමින් සිටින ඔවුන් සිය අවස්ථාව,බලය සහ ධනය රැක ගැනීම වෙනුවෙන් කරට දැමූ අත්වලින් ගෙල මිරිකමින් සිටින්නේය.මේ තත්ත්වය අමුත්තක් නොවේය.එය පැවති ක්‍රමයේම දිගුවකි.

පොලිස් කොමිසම මේ ක්‍රමයට පිටතින් ගෙන අලවා දැමූවකි.නමුත් එය ලක්ෂ 62 ක ඡන්දලාභින්ගේ නොව ලක්ෂ 58 ක් ඡන්දය දුන් පිරිසගෙන් වැඩි පිරිසකටද සාධාරණය ලබා දීම පිණිස අවශ්‍යය ප්‍රතිසංස්කරණයකි.දේශපාලනඥයන්,ඔවුන්ගේ එහෙයියන් සහ ප්‍රභූ චරිතවලින් නීතිය සහ සාධාරණය හෙම්බත්ව තිබෙන මොහොතක ඒ හෙම්බත්වීම සහ පීඩනය දැණෙන්නේ බහුතරයක් වූ සාමාන්‍ය ජනතාවටය.ලක්ෂ 62 ට සහ 58 ට අයත් වූවෝ බහුතරයක් මේ ඝණයට වැටෙන්නෝය.ඒ පිළිබඳ එළැඹි සිහියෙන් කටයුතු නොකළහොත් පොලිස් කොමිසමත් සමඟ සාමාන්‍ය ජනතාව අපේක්ෂා කරන නීතියේ ස්වාධිපත්‍යය සහ සාධාරණයද කුණු කූඩයට වැටෙනු ඇත.

එය වීසි කර දමා තිබූ කුණු කූඩයේ පියන හැරියා පමණි.නැවත එය දේශපාලන අවශ්‍යයතාවයන් වෙනුවෙන් මුලාවේ වැටී පිටතට ගන්නටවත් නොදි වසා දමන්නට කරන පෙළඹවීම්වලින් අප පරිස්සම් විය යුතුය.ස්වාධින කොමිසම් සභා ලක්ෂ 62 ක බහුතරයට පමණක් නොව ලක්ෂ 58 ක බහුතරයගේද ආරක්ෂාව සහ ස්වාධීනත්වය වෙනුවෙන් අවශ්‍යය සමාජ මෙවලම් බව තේරුම් ගැනීමට අප බුද්ධිමත් විය යුතුය.දේශපාලනයෝ කිසිදාක අපේ වල කැපුවේ නැත.කතිරයේ සිටම අපේ වල අපට කපා ගැනීම වෙනුවෙන් ඔවුන් උදළුතල ප්‍රදානය කළෝය.උදැල්ලෙන් අප අපගේම වල කපා ගන්නේද,වල්කපා සමාජය නිවැරදි දෙසට ගමන් කරවිය හැකි මඟක් තනන්නට  මාවතක් සකස් කරන්නේද යන්න තිරණය කිරීමට ජනතාව කල්පනාකාරි විය යුතුය.


10 comments:

  1. මේක මටත් හිතිලා තියෙන්නේ

    ReplyDelete
  2. තමන් ට ඕන විශිහට නොව ජනතාවට සේවය කිරීමට කියල , කියල දෙන්න වෙලා

    ReplyDelete
    Replies
    1. ගේම්වලින් පරිස්සම් වෙන්න වෙනවා

      Delete
  3. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/2437-2016-01-17-11-14-25

    ReplyDelete
  4. මාධ්‍යවේදියාගේ ස්වාධීනත්වය ගැන කතා කිරීම රස්සාවක් වූ මිනිසුන් අපේ දහදියවලට අසමත් චරිත යොදවා අපේ ආත්මාභිනය මත වසුරු හලන්නට සළස්වද්දී අන්තර්ජාලයේ පාවුණු මගේ අකුරු ගෙන වෙබ් අඩවියක ඔබ්බා තැබීම....?

    වටින්නෙ මිනිස්සු නොව ඔවුන්ගේ හැකියාවන්ද නොව තමන්ගේ පැවත්ම සහ ලාභාංශයන් පුළුල් කර ගැනීමයි.එවැනි වටපිටාවක මෙවැන්නක් යහපත්...තුති....

    මේ මා කියූ කතාවට ආදර්ශය
    http://chiththapata.blogspot.com/2016/01/blog-post_6.html

    ReplyDelete
  5. නමුත් සිදුවූ සිදුවීම් අරබයා පොලිස් කොමිසමේ විමර්ශන සිදු වීමේ අලස බවකුත් පේනවා.පොලිසිස් කොමිසම නිද්‍රශීලි නොවී කටයුතු කරන්න ඕනේ ඔවුන්ට අවශ්‍ය බලතල සියල්ල දී තිබේනම්.

    ReplyDelete
    Replies
    1. පැහැදිළියි මනෝජ්,
      ඒයට හේතුව සමහර විට ඒහි සාමාජිකයන් විය හැකියි.
      ඒසේනම් ඒ චරිත වෙනස් විය යුතුයි.නමුත් කොමිසම තිබිය යුතුයි

      Delete
  6. ආන්න එච්චරයි බන් වෙන්න ඕනේ...මිනිස්සු අවදියෙන් ඉන්න ඕන...

    ReplyDelete