Friday, May 27, 2016

ගල් සහ ග්‍රීන් ලේබල්

දැන් සැඩ දිය බැස අවසන්ය.ඉන් අනතුරුව ඇදක්වත් නැති ගෙ‘බිම කොල්ලා ඉතුරු වූ සුන්බුන් ටිකත් සමඟ නිදා සිටිනා‘යුරු ඡායාරූපයේ දැක්වෙන්නේය.

වැස්සට ගසා ගෙන නොගිය එකම දේ මනුස්සකමය.සාමාන්‍ය ජීවිතයේ අප විසින් ඉන්දුවන බිජු වලින් හට ගැනෙන පල කෙතරම් රසවත්ද තිත්තද කියා දැනෙන්නේ මේ අවස්ථාවේ අපට ලෙංගතුවන මනුස්සකමේ ආශිර්වාදයත් සමඟය.

නමුත් මේ බොර දියේ ද අමන වැඩ කරන යකුන් හිඟ නැත.ඒ හොරුන් මංකොල්ලකාරයන් නොව.උන්ට වඩා වැදගත් විදිහට ආතල් ගන්න පිරිසක් ද මේ ගං වතුරේදී දැක ගන්නට හැකි විය.ගංවතුර බලන්න ඇවිත් සෙල්ෆි ගහන පිරිස ගංවතුරට අසු වී සිටින පිරිසට යක්ෂාවේශය කැදවීය.මා කොළොන්නාවේ පෙර සිටි පෙදෙසට යන විට එහි වැව් බැම්ම මත සිටි අනාත වූ පිරිස් සිටින තාවකාලික කූඩාරම් ඇතුළට ඔළු ඔබාගෙන සෙල්ෆි ගහන පිරිස ගැන එම කූඩාරම් වල සිටි අය මා සමඟ කිසිත් කීවේ නැත.නමුත් ජාතක කර හැදූ වැඩූ දෙමව්පියන් ගැන අපූරු කතා කියමින් ඔවුන් සිව්පාවුන්ට සම කළේය.

චේන්ජ් එකකටත් එක්ක රස බලන්න කූඩාරම් වෙත පැමිණි බත් පැකට්වලට පොර ඇල්ලූ පිරිසකට බඩ ගින්නේ සිටි පිරිසගේ කෝපාග්නියේ නොදැවී බේරි ඇත්තේ අනූ නවයෙන්ය.මේ ආකාරයටම ෆන් එකට ඒ තැන්වලට ගොස් ඒ බෙදන බඩු මලුත් ඔසවා ගෙන ගෙදර යන පිරිස් ද හිඟ නොවිණ.මේ සියල්ල සිදුවෙද්දී මා සිටින රදන්වත්ත වැනි ප්‍රදේශවල මිනිසුන්ට තේ උගුරක් හෝ නොලැබුණු අවස්ථා එමටය.මන්ද අවසානයේ ජල රකුසා කඩා වැටි එම ප්‍රදේශවල් වටෙන්ම ජලයෙන් වට වී තිබූ බැවින් ප්‍රවේශ මාර්ග හිඟ විය.

මා ද සිසිර යාපා පැමිණ ලබා දුන් ටෙන්ට් එක යටට වී දින එක හමාරක්ම දිය උගුරක් හෝ නැතිව විසීම ඊට හොඳම උදාහරණය ලෙස දැක්විය හැකිය.

කැළඹෙමින් ගලන ජල කඳ දිගේ ඇදී එන දේ අතර මා සිත් ගත්තේ අරක්කු බෝතල්ය.ඒවායේ ගමන් ලතාවන් හරි හැඩය.බෝතලයේ අනුව ඒවා ජලය මත ගමන් කරන අඩි වල බර ද වෙනස්වන්නා සේ ය.ඊටත් වඩා වටින්නේ ඒවා කියා දෙන ස්වභාව ධර්මය පිළිබඳ අපූරු පාඩමය.ගල් අරක්කු බෝතල් මෙන්ම ග්‍රීන් ලේබල් ද දුසිම් ගණනෙන් පාවී ආවේ ප්‍රදේශය අවට ඇති ආර්ථික විෂමතාවයන් නැතිනම් බෙදීම් පැහැදිළි කරමින්ය.

ගල වටා රොක්වන්නට මෙන්ම ග්‍රීන් ලේබල් වටා රොක් වෙන්නට ද ආ ගිය පිරිස් වෙනුවෙන් විවර වන්නට දොරවල් අවට තිබී ඇත.එහෙත් ඒ දොරවල් හැමෝටම ආරාධනා කළේ නැත.කතා කළ හෝ ඇරයුම් ලැබුණු පිරිස් එහි ආ ගිය ඈයෝ වෙති.නමුත් ස්වභාව ධර්මය කිසිඳු වෙනසක් පෙන්වා නැත.හැම ගෙයකටම එක හැන්දෙන් බෙදා ඇත.

මේ තත්ත්වයනම් මිනිසුන් ආදර්ශයට ගන්නේ අඩුවෙන්ය.දැනට ද සියල්ලට සමානව පහසුකම් හිමි නොවීමම මීට උදාහරණයකි.පන නැති බඩු භාණ්ඩ ස්වභාව ධර්මය සමඟ එක් වී අප වෙතින් පලා ගිය අයුරු කේන්තිය අවුස්සන සුළුය.විශේෂයෙන් මෙසේ කේන්තිය ඇවිස්සූ භාණඩ අතර හැලි වලංවලට හිමිවන්නේ ප්‍රමුඛ තැනකි.ඒව සැඩ පහරේ අපට ඔලොක්කුවට මෙන් දමන රංගනය කේන්ති අවුස්සන සුළුය.

හූ... හූ.... අල්ලන්නට බෑනේ වගේ කුඩා කළ ඔට්ටු සෙල්ලමක මෙන් මේවා හැසිරෙන විට දියට පැන අල්ලා ගන්නට සිතුනද,ජීවිතය අල්ලා ගන්නට එවැනි අවස්ථාවකදී නොහැකි වන්නේය.

තමුසෙට අල්මාරියක්ම තිබිලත් මදි නෙ.

බිරින්දෑ ගේ ගෝරනාඩුව දැන් නම් කාලෙකට නොඇසී සිටිය හැකි වනු ඇත.අල්මාරිය පිරෙන්නට නොව දැන් වැඩට යන්නටවත් ඇඳුමක් නැති තැනටම මා පහත වැටී ඇත.ගෙදර තිබුණු බඩු මුට්ටු අඩු වී වෙනදාට වඩා අත පය දිග හැර ඇවිදින්නට හැකියාවක් සැකසී ඇත.ඒ ස්වභාව ධර්මයේ හැටිය.

ස්වභාව ධර්මය එබඳු වුව අනෙකුත් සියලු ධර්ම මිනිසුන්ගේ අවශ්‍යයතාවය අනුව පාලනය වන්නේය.අප ඉකුත් මාර්තුවේ කුලී නිවසෙන් නික්ම ආවේ ඔවුන්ගේ පිං කමක් සාර්ථක කර දෙන්නටය.තව මාස දෙකක් කල් දෙන ලෙස ඉල්ලුවද ඒ කාලය ධාතු කරඩුව සකසා ගනිමින් අවශ්‍යය පිංකම කර ගැනීමට පමාවෙන බව ඔවුන්ගේ අදහස විය.නිවස මිල දී ගත්තේ ඔවුන්ගේ ඥාති අසල්වැසියන්මය.ඔවුන් ද අප සමඟ ඉතා සමීප ඇසුරක් පැවත් වූ අය විය.වෘත්තියෙන් වෛද්‍යවරියක් වූ සහ ඉංජිනේරුවරයෙක් වූ දෙමහල්ලන්ට ද අපට මාස දෙකක් රැදී ඉන්නට කල් දෙන්නට තිබුණ ද ඔවුන් පිං කැමති කරඩුලාභිණියට අප සිටින තාක් නිවස මිල දි ගත නොහැකි බව පැවසූවෙන් ඔවුන්ගේ පිංකම වෙනුවෙන් අපි එම නිවස අත හැර පැමිණියේය.

එසේ නොවිණිනම් තාවකාලිකව හෝ අප උඩු මහල සාදා ගෙන පැමිණෙන්නේය.එසේ වූවා නම් මේ අනතුරෙන් අඩක්වත් පියවා ගන්නට තිබිණ.නමුත් බුදු දහමට අනුව මිනිහෙක් අනතුරට පත් කිරීමට වඩා ධාතු කරඩුවක් සැකසීම පිංකමකි.සුනාමියට ගසා ගෙන ගිය තරුණයෙක් වෙනුවෙන් අහළ පහළ ඉඩම් වලින් ද අල්ලා ගෙන නඩු හබ වල පැටලෙමින් තිබෙන ගොතටුව චන්දන විහාරයට වැඩමවා වදාළීමට නියමිත ධාතු කරඩුවට දැන් ඉතිං අපිත් අනියමින් හෝ ඒ නිවසට ගෙවූ ලක්ෂ ගණනක කුලියට අමතරව ගංවතුර විසින් අහිමි කළ ලක්ෂ පහකට ආසන්න චංචල දේපළ වටිනාකමද එක් වී ඇත.එයට ද අමතක නොකොට සාධුකාරයක් දෙන්නේ නම් යහපත්ය.

සථීරම ධර්මය බුදු දහම ද දේව දහමක්ද යන්න මා තර්කයට නොගන්නේය.මේ කිසිවක් සැබෑවට පිළිපදින්නේද යන ගැටළුව සහ එය එකිනෙකා තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් යොදා ගන්නා බව පමණක් හැඟෙන්නේය.ඒ නිසාම සකල ලෝක වාසීන්ට සෙත පිණිස සැකසි බව කියන බොහෝ ධර්මයන්ගේ හැසිරීම සමාජ ගත වන්නේ විශාල වෙනස්කම් සහිතවය.ජාතිය,කුලය,ආගම මෙන්ම ආර්ථිකය ද ඇතැම් විට සමාජ පිළිගැනීමට අනුව කෙතරම් උගත් ද යන කරුණ ද මේ පහසුකම් සහ පිළිගැනීම් බෙදී යාමේදී සැළකිල්ලට ගන්නේය.ඛේදවාචකය එය ය.සොබාදහම ඛේදවාචකයක් වුව නිර්මාණය කරන්නේනම් එහිදි ඒ කිසිවක් අදාළ කර නොගන්නේය.ස්වභාව ධර්මයේ අගය එබඳු වන්නේය.

එහෙත් මට දේවල් අහිමි කරනු හැර මා සිතන හැටි වෙනස් කරන්නට සොබා දහමේ ශක්තියට ද පහසු නැත.මා අහිමි වූ දේවල් හැකි පරිදි ගෙන නිවසේ හිස් බව මකා ගැනීමට වෙර දරන අතරේම මා දැඩි කල්පනාවෙන් හිස් තැන් පුරවන්නට මිනිසුන්ගේ ආදරය එකතු කරන්නට තව තවත් වෙහෙසෙන්නට තීරණය කළෙමි. එහිදි මට වටින්නේ ගල් ද,ග්‍රීන් ලේබල් ද යන්න නොවේය.මිනිසුන් ආදරයට අවංක වන ප්‍රමාණයේ වර්ගපලය ය.


10 comments:

  1. අපි කවුරුත් අසරන උනා..... හැබයි ඒ ගැන කතා නොකර... ඉදිරියට යන එකයි කළ යුත්තේ... පසුගිය ටිකේ උඹ ඕනවට වඩා ඕපන් උනා වැඩියි මම හිතන්නේ... මට මල පැනලා උන්නේ උඹත් එක්ක...

    එක දෙයක් මතක තියාගනින්...

    ළෝකයා අසරණයාට සලකන්නේ නෑ කියන එක... මම පෞදගලිකව උඹට වඩා වැටිලා තියෙනවා... ඒත් කවදාවත් තනියෙන් නැගී සිටියා මිස, අනුක්මපාව අයදින්න ගියේ නෑ කිසිවකුගෙන්...

    ජයවේවා....!!!!

    ReplyDelete
    Replies
    1. මම හැංගුවනම් හැංගුවෙ අනුන්ට පාඩුවන දෙයක්.මම විවෘතවන විට පාඩු ලාභ ගැන හිතුවෙ නැහැ.වතුරක් මැද්දෙ ජීවිතය ගැන ෂුවර් නැති වුණාම.ඉස්සරහ ගෙදර ඉදන් උයන දේ කන්නෙ නැතිව මම බඩ ගින්නෙ කියලා දරුවන් අඩන කොට මට හංගන්න දෙයක් ඉතුරු නැහැ මචං.

      මොනව හරි වෙන පළමු තත්පරයෙම කොල්ලට මොකක් වෙයිද? අැයි උගෙ හැකියාව නඟා සිටුවන්න කවුරුවත් ඒන්නෙ නැත්තෙ?මම ඒහෙම දරුවො දැක්කම පසුපස ගිහිං මට පුළුවන් උපරිමය කරන ඒකෙක්.ඒ් පසුතැවීම් ෙමේ අැතුලෙ අැති.ඒ්ක අනුකම්පාව යැදීමක් නෙමෙයි මචං.

      මම ලියද්දි ලිවීමට අවංක වෙනවා.ඒපමණයි

      ස්තූතිය කමෙන්ට් ඒකට උඹ මෙගේ බොක්ක

      Delete
    2. උඹ එහෙම හිතුවට මිනිස්සු තේරුම් ගන්නේ වෙන විදියකට... මටත් වඩා සමාජයත් එක්ක ජීවත් වෙන උඹට ඒක නොතේරෙන්න විදියක් නෑ.... මමත් පෞද්ගලිකව මේකෙන් විඳෙව්වා... එක දැනගෙන උදව් කරන්න අහපු උන්ට පවා මම කිව්වේ... අවුලක් නෑ මචෝ කියලා...

      Delete
    3. මම මෙහෙම ඉද ගෙනත් අහල පහළ අයට සෑහෙන දෙයක් කළා.දැනටත් ලබා දිය හැකි දේ ඔවුන් වෙනුවෙන් ලබා දෙන්නට මහන්සි වෙනවා.මේ පොටෝ එක පවා මම ගත්තෙ ග්‍රාම සේවක කියන කතාවට උපහාසෙට.මම වෙච්චි දේ පොටෝ නොගත්තෙම මට ඒව නැවත බල බල විඳවන්න බැරි නිසා.ලියන දෙයින් එවැන්නක් දැණුනනම් ඒක දුර්වලකමක්.මම පිළිගන්නවා.ඒත් මම අනුකම්පාව ඉල්ලන හෝ දෙන්න කැමති කෙනෙක් නෙමෙයි.
      මට ආදරය දැනෙන්න ඕනි.මම කොන්දේසි විරහිතව දෙයක් කරන කොට ඒ වැඩේට හෝ පුද්ගලයට ආදරය කරන කෙනෙක් නිසා.මේක අපි දෙන්නගෙ ආත්ම ප්‍රකාශයක් වෙයි.මේකෙ දැනෙන දෙයක් තියේනම් ගන්න කෙනෙක් ගනියි.
      අපි දෙන්න මීට වඩා කුණුහරුපෙන් හරි බැනගමු තව ටික දවසක් ගිහිං හම්බ වෙලා පොඩ්ඩක් බීලා.තෝ බනින් නැතුව පුළුවන්නම් භාගයක් අරං වරෙන් බොන්න.එහෙම සෙට් වෙන්න ආසයි.අද කැළුම උගෙ ගෙට ගියා උෘත් කතා කළා.ඒත් මේ මිනිස්සුන්ට වතුර ටිකක් ඕන වෙලා තියෙනවා.ලක්ෂමන් නයනකාන්ත වගේම තව දෙන්නෙක් ඒක සපයා දෙනවා.ඒ ටික භාර ගන්න මෙහි ඉන්න ඕනි.

      Delete
  2. ඔබට සිදුවූ විපත ගැන අසා ඉතා කම්පාවට පත්වුණා. දරුවන් සුවෙන් ඇතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. දැන් තත්ත්වය යහපත් වී ගෙන එනවා අපි ඉන්නවනෙ රසික

      Delete
  3. උඹ නැගිටපන් නිශ්මා.......මම නැගිට්ටේ දණ ගගා...ජීවිතය ගැන උඹට ශාස්ත්‍රීය ගොන් ටෝක් දෙන්න මට උවමනා නැහැ. මාතා කියන සියල්ලකට එකඟ නොවුනත් ඌ කෙලින් කියන යම් යම් කතාවලට මම එකඟයි. කවුරුවත් හේත්තු කරන්න ඉස්සෙල්ල උඹ මානසිකව කොහේදෝ බිත්තියක හේත්තුවෙලා. තුවාලය කොච්චර ආතල්ද කියලා දන්නේ තුවාලය තියෙන එකා මිස, හන්දියේ බෙහෙත් දාන එකා නොවන බවත් මම දන්නවා.

    ReplyDelete
  4. මිනිස්සු වැටෙන විදියට අමරුවෙන් හරි නැගිට්ටේ නැත්නම් වැටිලම තමයි ඉන්න වෙන්නේ.නිශ්මන්ට නැගිටින්න පුළුවන්. ධෛර්ය නිශ්මන්ට තියෙනවා අඩු නැතුව.

    ReplyDelete
    Replies
    1. නැගිටමු! http://chiththapata.blogspot.com/2016/02/blog-post_23.html මේ ගෙට යාම ගැන ලියපු එක

      Delete