Friday, July 18, 2014

අයියෝ ජෝන් !

මේ දවස්වල පට්ට අමාරුයි යමක් ලියන්න.ඩ්‍රාමා එකේ වැඩ.7 සහ 8 පෙන්නන්න තිබුණු වැඩේ 26 සහ 27 දක්වා කල් ගියා.ඒ හෝල් එකත් වෙනස් වෙලා.දැන් හෝල් එක ටවර් හෝල් එක.26 සහ 27 ටවර් එකට එන්න.හැන්දෑවේ 6 .00 ට තමයි වැඩේ පටන් ගන්නෙ.

තියන්න හිතං හිටියෙ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයෙ.ඒකෙ ප්‍රධානියා මධු මාධවත් වැඩේට උදව් කරන්න ඉදිරිපත්  වුණත් රංග ශාලාවෙ තියෙන පහසුකම් එක්ක ඒ ගණන් වලට නාට්‍යයක් කරනවට වඩා ටවර් එකට එන එක ලාබයි.හැබැයි ඒක හොද හෝල් එකක්.තැනත් නියමයි.කොළඹ විශ්ව විද්‍යාලය ළග.කොළඹ 7.වෘත්තීයවේදීන්ගේ සමාජය අල්ලපු වැටේ.හොද දේවල් අඩු ගණණට පෙන්නුවොත් මේක හොද වටිනා කියන තැනක් හැටියට තීරණය වෙයි.ගැලවිජ්ජා ඒ විජ්ජාව කරන්න ඉදිරිපත් වුණාට හෝල් එකට තියෙන නීති අණ පනත් එක්ක ගණන් මිණුම් අඩු කරල මේ වැඩේ ආරම්භ කරන්න පුළුවන් සීමාවෙ දිග පළල අපිට දැනෙන විදිහට වෙනස් කරන්න ඒ අයට නම්‍යශීලී වෙන්න විදිහක් නැහැ.

ඉතිං අපි ටවර් එකට යනවා.වායු සමූකරණය කරන ලද හෝල් එකක් වීම වගෙම නාට්‍ය ප්‍රේක්ෂකයන්ට අමුතුවෙන් හදුන්වා දිය යුතු තැනක් නොවීමත් මේ වැඩේ දී ලොකු ගැම්මක්.අපි 26 හෝ 27 හෝ ඒ දින දෙකේදිම හෝ මුණ ගැසෙමු ටවර් එකේදි.ප්‍රවේශපත්‍ර ගැන තීරණය කරන්න ගියහම පට්ට ගැටළුවක් ආවා.මගේ සාක්කුවට ඔරොත්තු දෙන්නෙ නැති ගණන් තමයි දාන්න වෙන්නෙ.ඒත් ටිකට් එකක සාමාන්‍ය මිල දැන් එහෙමයි කියලා කට්ටිය උදාහරණ ගොඩක් ගෙනාවා.

හැමෝගෙම උදව්වෙන් කරන නාට්‍යය තව දුවවන්නත් සල්ලි ඕනි.ඒකයි ඇත්ත.කට්ටිය කියපු කතාවෙ වරදක් නැහැ.හොදයි එහෙනම් ටිකට් පතක් රුපියල් 1000 සහ 500 වෙනවා.මේක අවුල් නම් කියන්න.තවම ප්‍රින්ට් කරලා නැහැ.ඔබත් එක්ක මේ ගැන එකගතාවයකට එන්න වෙනවා.ඔබ හුගදෙනෙක්ට මේ නාට්‍යය අයිතියි.බහුතර කැමැත්ත අනුව ඒක කරන්න අප්‍රමාදව මෙහි ඔබේ අදහස ලියන්න.නැත්නම් මගේ මේල් එකට එවන්න.nismansinghe@gmail.com

ඒත් මේක අතුරු කතාවක් විතරයි.මේ හෝල් වල ප්‍රශ්නෙ හිතට මෙච්චර වදයක් වුණේ අපි වගේ නාට්‍ය කරුවන්ට නාට්‍ය කරන්න තිබුණු ජෝන් ද සිල්වා සමරු රගහල බිමට සමතලා කරපු නිසයි.මම ඊයෙ උදේනි අල්විස්ගෙ ආරාධනාවෙන් ඡායාරූප සංගමයෙ ඡායාරූප ප්‍රදර්ශනය බලන්න කලාගාරයට ගියා.කඩල හදනවා වගෙ දැනෙන්න කලාගාරයෙ සීමාවෙ උසට තහඩු ගහලා ජෝන් ද සිල්වා එක තිබුණු බිම වහලා තිබුණා.

මම එහා පැත්තට ගිහිං එබිලා බැලුවා.බිමට සමතලා කරපු ජෝන් ද සිල්වා එක පස් ගොඩක් විතරයි.ඇස් වලට කදුළක් ආවා.ඒ කදුළට හිනා වෙන්න වගේ නෙළුම් පොකුණ බලං ඉන්නවා.නෙළුම් පොකුණෙ කව්ළු වලින් එබිලා ජැක්සන්ල,රන්දෙණියලා වගේම ඇතුගලත් පුළුවන්නම් උමල නාට්‍ය කරපං කියන්න වගේ බලා ඉන්නවා.

රාජ්‍ය නාට්‍ය උළෙලට මරාසාද් පෙන්නපු වෙලාවෙ කර්ට්න් කෝල් එකට මරා ට අසුනෙන් නැගිටලා අත්පුඩි ගහපු හැටි මතක් වෙනවා.කොට්ට උරයක් මෙන් සිරුර කණ පිට පෙරළා අළුත් ඇහැකින් ලෝකය බලන්න කියන එක තේමා පාඨයක් කර ගත්තට එහෙම මිනිස්සු දිහා අළුත් ඇහැකින් බලන්න බැරි වෙලා තියෙනවා කියලා මට තේරෙන්න ගන්නවා.

ජෝන් ද සිල්වා කියන්නෙ හැම අතින්ම සම්පූර්ණ රංග ශාලාවක් නෙමෙයි.ඒත් පැනඩෝල් පෙත්තක් වගේ.හිතේ නිර්මාණයක් වෙනුවෙන් ඇතිවන ප්‍රසව වේදනාව සමනය කර ගන්න තිබුණෙ ජෝන් ද සිල්වා.එහෙම නැත්නම් ලුම්බිණි රගහල.රජයෙන් ආශිර්වාදයක් කියලා ලැබුණු එක තමයි ජෝන් ද සිල්වා රගහල.මේ සමතලා කරල තියෙන්නෙ ඒ භූමිය.

එතකොට කලාකාරයො කියලා දෑත ශක්තිමත් කරන්න ඉන්න කට්ටිය සිය දෑත ශක්තිමත් කර ගෙන නෙළුම් පොකුණෙ නාට්‍යය කරනවා.අලුත් පරම්පරාව හිස් අතින් බලා ඉන්නවා.හදනවා කියලා කඩපු රගහල හරහා කඩා දැම්මෙ අලුත් දේශපාලන අදහස් වලට ගොඩ වෙන්න තිබුණු වේදිකාව.පුංචි හරි කම්පනයකින් තමයි නාට්‍යයක් කරන්න මනුස්සෙක් පෙළඹෙන්නෙ.ඒ කම්පනය නිර්මාණශීලීව ප්‍රකාශ කරන කොට එහි තියෙන සෞන්දර්යාත්මක වටපිටාවත් එක්ක තියෙන අර්බූදය විදින්න වගේම ඒක තේරුම් ගන්නත් පිරිසට ඇති ඉඩ ඇහිරෙනවා.

කලාව වාරණය වෙන්නෙ ඒ විදිහට.වක්‍රාකාරයෙන් ජොන් ද සිල්වා කඩා වැටීම හරහා මේ කරමින් තියෙන්නෙ ඒ දේ. ඒත් කලාකාරයො කියලා ලයිසන් අරං රාජ්‍ය යාන්ත්‍රණයෙ නියෝජිතයො විදිහට ඉන්න අය නිශ්ශබ්ද කරලා තියෙන්නෙ මෙන්න මේ දේශපාලනික අනන්‍යතාවය.ඒ අයගෙ දේශපාලනය කෙසේ වෙතත් ඒ අයගේ වරප්‍රසාද සහ අනෙකුත් භෞතික සම්පත් වෙනුවෙන්  මේ අය නිහඩ වෙනවා.

ජෝන් ද සිල්වා තිබුණු බිම පස් ගොඩක් හැටියට අලුත් බීජ ඉන්දන්න තියෙන ඉඩ මුඩු බිමක් බවට පත් වෙනවා.කලාකාරයො විදිහට පෙනී සිටිමින් නලා පිඹින කිසි කෙනෙක්ට මේකෙන් කප්පාදු වෙන පරම්පරාවෙ අයිතිය හෝ ඔවුන්ගෙ ආදරණිය හැගීම් තේරෙන්නෙ නැහැ.කුමාරි මුණසිංහ ගේ ගීත සමුච්ඡය එළි දක්වපු රූපවාහිනි ප්‍රසංගය තිබුණෙත් ජෝන් ද සිල්වා සමරු රගහලේ.එකේ ප්‍රසංග කලමනාකරනයට මම සම්බන්ධ වෙන්නෙ දුකා නිසා.එදා රැ දුටුව කුමාරි මුණසිංහගේ සැමියා අද රගපාන චරිතය ඊට වඩා කොච්චර වෙනස්ද?

වරෙං මෙහෙ පලයන් කඩේ.ප්‍රතිපත්ති බල්ලට දාලා වැඩ කළොත් උඹලටත් දොර ඇර ගන්න පුළුවන් නෙළුම් පොකුණෙ.

වීර විකුම් පෑ ජෙනරල් වැලන්ටයින් උතුමාණෙනි
අවසර උඹ පිළිගන්නට මේ කීකරු බලු කුක්කට

අපි තේරුම් නොගත් ඇත්ත හිත තුළ දෝංකාර දෙනවා.ඒ බිරුම් හඩට එකතු වෙලා බුරනවද?මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න හදලා බල්ලෙක් වගේ මැරුම් කනවද වගේ අදහසක් මගේ හෘද සාක්ෂියෙන් මතුව ඇවිත් මගෙන් ප්‍රශ්න කරනවා.

තෝරා ගැනීම සදහා බලු චරිතයක් සහ මිනිස් චරිතයක් ඇත.මම ජෝන් ද සිල්වා කියන කිර්තිමත් කලාකාරයා සහ ‍අදීන මිනිසාගේ නාමය පස් ගොඩක් බවට පත් කල සමයමට දෑතම ඔසවා අනුමැතිය දී නිහඩ වුණු කලාකාරයන්ගේ මහා සමයම ‍බලන්න එන්න නෙළුම් පොකුණට කරන ආරාධනාව ඇතුලෙ තියෙන කුහක දේශපාලනය ගැන කතා කරන්න මේ රටේ වේදිකාවක් හැදෙන්න කියලා බිමට නැමිලා පස් වෙච්චි ජෝන් ද සිල්වා රගහල් භූමියෙ පස් රොදක් හිිමිහිට අතට ගත්තා .

පස් පෙරළෙනවා.ඉවසපං.අලුත් බිජ ඊට පස්සෙ ඉන්දන්න පුළුවන්.
ඒ පස් අහුර බොහොම ගෞරව සම්ප්‍රයුක්තව මම ආයෙමත් බිමින් තිබ්බා.

22 comments:

  1. //""වීර විකුම් පෑ ජෙනරල් වැලන්ටයින් උතුමාණෙනි
    අවසර උඹ පිළිගන්නට මේ කීකරු බලු කුක්කට""// මෙහෙම කියපු කෙනා අද ඇත්තටමත් එක කරනකොට අපුලක් දැනෙනවා තමා .
    සෞන්දර්ය නිකේතනයේ හෝල් එක මේ වගේ නාට්ටියකට විශාල වැඩියි වගේ , එක මොන අරමුණකින් හැදුවද කියලා තේරෙන්නේ නෑ . හබිය් එකේ උද තට්ටුවේ තියෙන පොඩි හෝල් එක නම් තරමක් හොඳයි වගේ,
    නෙලුම් පොකුණ කියන්නේ අධ්‍යාපන චාරිකා ආවම පෙන්නන තැනක් මිසක් නාට්‍ය පෙන්නන තැනක් නෙවෙයි නේ

    ReplyDelete
    Replies
    1. හෝල් එක විශාල වුණාට සීට් ගණන අඩුයි 450 දාන්න පුළුවන්.බැල්කනි එක මාර උසයි.නිකං විශාල ඉඩක් අපතේ ඇරලා.නමුත් වේදිකාව හෙම ගත්තම හොද වැඩක් කරන්න පුළුවන් තැනක්.ඒත් පරිපාලනයට මීට වඩා නම්‍යශීළී වෙලා මේක මිනිස්සු අතරට ගෙනියන්න වෙනවා.ලාභයක් ලැබීමෙන් තෘප්තියක් ලබන ැාජ්‍ය සේවක සංස්කෘතියක් හැදෙන්න වෙනවා ඒකට

      Delete
  2. මම උඹ අර අන්තීමට කියපු දේට කැමතියි. දුකයි තමයි. ඒත් මචෝ නාට්‍ය කාරයොත් හැමදාම හිඟන්නෝ වෙන්න ඕන නෑ. උඹලා දැන ගන්න ඕන ලුම්පන් පන්තියට ගැලපෙන නාට්‍ය හදන්න. එතකොට ඒ සමාජයේ ඉන්න එකෙක් හරි ගාව ගන්න වෙනවා. එහෙම නැත්නම් නන්දලා කලා වගේ රැඩිකල් සීන් එකකට යන්න ඕන. ඒත් එදා වගේ නෙමෙයි අද. ඊට හොඳයි. උඹ අර බෙල්ලෙ එල්ලන් හිටිය ටයි එකේ කෙලවර හයිය අත්තක බැඳලා බිමට පනින එක. ඊට පස්සේ සල්ලි හම්බ වෙලා පොරක් උනාම උඹටත් ඔප්ෂන් දෙකක් තියෙනවා.

    1. ප්‍රසන්න විතානගේලා වගේ කොන්දත් කෙලින් තියාගෙන උසස් නිර්මාණ බිහි කිරීම.

    2. ශ්‍රියන්ත මෙන්ඩිස්ලා වගේ හදාගත්ත ඉමේජ් එක හොඳ ගානකට මාකට් එකට දාලා පොරක් වෙන එක. හැබයි පොඩි කාළේ අම්මට හරි කඩේ ගියපු පුරුද්දක් ඕන මයි. එක පාර කරන්න ගියාම නා ගන්නවා. අර මාළු කෑල්ල වගේ.

    ReplyDelete
    Replies
    1. උඹ ඉතිං හීන් නූලෙන් කපන එකානෙ හරියට දැලි පිහියක් වගේ.කැපෙනවා දැනෙන් නැහැ.ඩ්‍රාමා එක බලලත් ඔය වගේම ටිකක් ලියපං

      Delete
  3. අනේ මන්දා බන් මොනවා කියන්නද කියලා මේ කළා පැරියෝ ගැන. ජෝන් ඩි සිල්වා එක නිසා තමයි අපි නාට්ටි බලන්න පුරුදුවුනේ. තරුණ කාලේ ජෝන් ඩි සිල්වා එක එහා පැත්තේ කෙහෙල් කොටුව හරහා ඇවිත් හොරෙන්ම රිංගගන්නවා සල්ලි නැති නිසා. ඒ කාලේ ජැක්සන්ලාත්, අපි වගේම නකුටෝ තමයි. ඒත් අපිට තාමත් ජෝන් ඩි සිල්වා එක මතකයි. ආදරෙයි. ඒත් ජැකලා,ශ්‍රියන්තලා, ජයන්තලාට මතක නැහැ. ඔය අමතකවෙන ලෙඩේ හැදුණු බොහෝ අය අවසිහියෙන්ම තමයි අන්තිම කාලය ගෙව්වේ.

    උඹලාගේ වැඩේට සුබ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරූ ලන්ඩන් වලට හරි ඇවිත් ඩ්‍රාමා එක පෙන්නන්න ලැබෙනව නම්.... උම මේක බැලිය යුතුමයි මචං

      Delete
  4. //එතකොට කලාකාරයො කියලා දෑත ශක්තිමත් කරන්න ඉන්න කට්ටිය සිය දෑත ශක්තිමත් කර ගෙන නෙළුම් පොකුණෙ නාට්‍යය කරනවා.අලුත් පරම්පරාව හිස් අතින් බලා ඉන්නවා//

    ඕක තමයි තිත්ත ඇත්ත. හැමෝම පුළුවන් විදියට තමුන්ගේ කොන්ද ගෙදර තියල කඩේට පොඩ්ඩක් ඇවිදලා බදගොස්තරේ හොයාගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තිත්තයි.ඒත් නෙල්ලි ගෙඩියෙත් තිත්ත තියෙනවා එහෙම හිතං හපමු රහ එනකං

      Delete
  5. රඟහලක් නැතිව ලතවෙන තරුණ නාට්‍යවේදියෝ ගැන අද දවසේ කියවන දෙවන ලිපිය මේ.
    අජන්ත අලහකෝන් බූන්දියෙන්
    ඔබේ උත්සාහය සාර්ථක වේවායි ඉතසිතින් පතමි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබට

      Delete
    2. http://maathalan.blogspot.com/2012/01/blog-post.html

      Delete
    3. කියෙව්වා. ඇත්තෙන්ම ඔය මඟුල මේ ආන්දුව ගියාට පස්සේ මොනවට යොදාගනීද මන්දා? මොකෝ ඕවයේ නාට්‍ය පෙන්වන්න කලාකරයන්ට කොහෙද සල්ලි?

      Delete
  6. ජෝන් ද සිල්වා රඟහල....!

    භිෂණයෙන් පස්සෙ හිරෙන් නිදහස් වෙලා ඇවිත් උඹයි මායි ආයෙත් පළමු වරට මුණ ගැහිච්ච තැන.
    “කරලිය හිමි නැති අපේ ළමයි“ කෙටි නාට්‍ය උළෙල....මතක ද..?

    ReplyDelete
    Replies
    1. මතකයි මචං.අපේ කදුළු හුවමාරු වුණා.විනාඩි කිහිපයකට වැඩේ කල් ගියා ආයෙ මාව මේක්අප් ටච් එකක් දාන්න වුණා

      නාට්‍ය උළෙල 'තහනම් අඩවිය'

      Delete
  7. මේ නාට්ටිය ගැන පොඩි හරි දැණුවත් වීමක් කොරන්න. පොඩි බැනර් කෑල්ලක් වත් නැද්ද අප්පා. මාකටින් නම් නිල්.

    ReplyDelete
    Replies
    1. පොඩි පෝස්ටර් පාරක් යන්න හිතං ඉන්නෙ.උපදෙස් ටිකක් දීපං ඉතිංමේක උඹටත් අයිතියක් තියෙන වැඩක් මචං.ඇත්තටම මේක වෙන්නෙ අපේ වැඩක් හැටියට මාතලන්.සයිබර් අවකාශයෙ සෙනෙහස ආදරය මේ නාට්‍යයෙ තියෙනවා සෑහෙන දුරකට.

      Delete
    2. ඕන් පොඩි එකක් හදලා දැම්මා. මළ වදේ...

      Delete
    3. උඹෙ එකේද මචෝ තෑන්ක් යූ වේවා! මට බ්ලොග් බලන්න වෙලාවක් නැති තරමට හිර වෙලා ඉන්නෙ ඒ අස්සෙ දැන්නම් උණ සමලකුද්දැට්ටක ආතල් එකත් විදිනවා.ඇඩෙනවා මචෝ

      Delete
  8. කොයි තරම් කලාකරුවෝ මේ ආණ්ඩුව එක්ක ඉන්නවා වුණත් තවමත් බැරි වෙලා තියෙනවා කලාව වලට දාලා පෙට්ටිය පස් දාන එක නතර කරන්න.ගිය සතියේ ඉරිදා ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයා ලංකාදීප පත්තරේට දීලා තිබ්බ සාකච්චාව දැක්කාම රටේ කලාවට අබ සරණයි කියලා තමයි හිතෙන්නේ.
    කොහොම වෙතත් ඔබේ නිර්මාණය සාර්ථක වේවා කියා හදවතින්ම පතනවා.

    ReplyDelete
    Replies
    1. අදහස් වගේම නැරඹීමත් වටිනවා බොහොම ස්තූතියි ලොකුුුුුුුුුුුුු වැඩක් නෙමෙයි හැබැයි හොද වෙයි.පස්සෙ කියන්නකො

      Delete
  9. සුභ පැතුම් නිශ්මචං................... පුළුවන් වුණොත් එන්නම්.................

    අපිට පුළුවන් විදිහට ප්‍රචාරණ පාරක් දෙන්නම්......................

    ReplyDelete
  10. ස්තූතියි හදවතින්ම පුළුවන් වුණොත් නෙමෙයි පුළුවන් කර ගන්න

    ReplyDelete