Wednesday, July 30, 2014

ධර්මසිරිගේ රුවන්වැකි


අද දවස ඇරඹුණේ පොඩි අසනීප ගතියක් ඇගට වද දෙද්දි.අද අමාරුවෙන් හොයා ගත්තු සල්ලි ටවර් එකට බදින්නම වෙනවා.එහෙම යන්න ලැහැස්ති වෙද්දි අනුර කේ ගෙන් කෝල් එකක්.

අද හවස වෙඩ්ඩලගෙ සනාලගෙ වැඩේට යනවද?

අනුරගෙ හඩ වෙනදට වැඩිය වෙනස් විදිහට ඇහෙනවා වගේ.උං හරියට ලංකාවට ගෙනත් තියලා වගේ.තව ටිකකින් අපේ ගේට්ටුව අැර ගෙන බොතලේකුත් අරං ඇතුල් වෙන්න නියමිතයි වගේ.කට්ටිය එක පෙළට වැටිලා හොදට ගහලා නිදා ගන්න පිළිගන්න ඉස්තෝප්පුව සූදානම්.හීනියට ඇහැ තෙත් වුණා.ඒත් අැඩුවට ඒ ඇස් වලට කැමති දේවල් පේන්නෙ නැති කොට මොනව කරන්නද?

අසනීපෙ නිසාම මම ෂුවර් නැහැ කිව්වා.උංගෙ උස් හඩ නැතිව අකුරු ගැන මොන කතා ද?ලියන දේට වැඩිය දැනෙන දෙයක් ඒ ඇසුරු වලින් විද තිබුණු මට උං වටින්නෙ මනුස්ස පුත්‍රයො හැටියට.මේ අකුරු දිගේ එන උංගෙ දේශපාලනය වගේම ලංකාවෙ දේශපාලනයට මැදිහත් වෙන විදිහෙ දෛනික ලිවීමකුත් උංගෙ අතින් වෙන්නෙ නැහැනෙ කියන දුකත් පොඩ්ඩක් නැතිව නෙමෙයි.ඒත් මොන මගුල කිව්වත් මේ පිටුවහල් වීමේ සිස්ටම් එකට විරුද්ධව ඇති වු අපුලත් එක්ක පාරට බැස්සා.පර්ස් එක ගෙදර.ඒත් සල්ලි අතේ.අමතක වීමට ආපහු හැරෙන්න ඕනි වුණේ නැහැ.

ගොඩ වෙන කොට ටවර් එකට කොළඹ ආනන්ද බාලිකාවෙ නාට්‍යය ප්‍රසංගය.ප්‍රධාන ආරාධිතයා ධර්මසිරි බණ්ඩාරනායක.මම පිටු පස්සෙ ඉදං හෙමිහිට ඔළුව දැම්මා.කොළම කළාපයෙ නාට්‍ය හා රංග කලා ගුරු උපදේශක සෙනවිරත්න රොද්‍රිගෝ ත් කාලෙකට පස්සෙ හම්බ වුණා.පළමුවෙන්ම කතාවකට වේදිකාව විවර වුණේ සහකාර අධයක්ෂ වරුණ අලහකෝන්ට.අපි නාට්‍යය පටන් ගන්න කාලෙ අපෙ වයසෙ හිටපු සටන්කාමී තරුණයෙක්.ප්‍රවීන සංගීත අධ්‍යක්ෂ ජයතිස්ස අලහකෝන්ගෙ පුත්‍රයා.එපමණක් නෙමෙයි වරුණත් මට මතක හැටියට වරක් යෞවන සම්මාන උළෙලෙ හොදම සංගීතයට හිමි සම්මානය ගත්තා.ඒ කෙටි නාට්‍ය අංශයෙන් කසුන් කුමාරතුංග අධයක්ෂණය කළ අබලන් ගේට්ටුව නාට්‍යයට.ඒකෙ රගපාපු අසේල ජයකොඩිගෙ පළවැනි යෞවන සම්මානය වුණේ ඒ රංගනය වෙනුවෙන් ලැබුව හොදම සහය නළුවා සම්මානය.කසුන් නම් ඒ කාලෙම රට අතෑරලා ගියා.මතක හැටියට ඉතාලියට.

වරුණ සහ සහකාර අධයක්ෂවරයා අතර විශාල පරතරයක් හැදිලා.ඉවර වෙලා කතා කරන්න ඕනි කියලා මුලින්ම ආපු හැගීමත් යටට ඇදලා දාලා එළියට ඇවිත් ටවර් එකේ පිටිපස්සෙ පාරට පැනලා කඩ බිත්තියකට හේත්තු වෙලා සිගරටි එකක් බිව්වා.ධර්මසිරිත් මේ ස්කෝලෙ වැඩේ නිසා ඇල් මැරුණු වචන ටිකක් වීසි කරල යයි ද දන්නෙ නැහැ.

වීසි කරන එක බලන්න ඔතන ඉදල හරි යනවද?පලයං... මට හිත කිව්වා

දෙවැනි පාර පිටිපස්සෙ සෙට් වෙද්දි ධර්මසිරි වචන වීසි කරනවා.හැබැයි වීසි වෙන්න නොදී ඇහිදලා දා ගන්න ඕනි දේවල් කියන්නෙ.ඇස් වලට අර උදේ හැදිච්ච ලෙඩේ හැදී ගෙන එනවා.මම කණ්නාඩි දෙක දා ගෙන ධර්මසිරි දිහා බලං හිටියා.

මේ දරුවො පාසල් අධ්‍යාපනය ඉවර වෙලා විශ්ව විද්‍යාලයට ගිහාම මොනවද ලැබෙන්නෙ?වතුර බවුසර් බලං ඉන්නවා නාලා නැහැ කියල හිතං වගේ නාවන්න.

ලංකාවේ දේශපාලනය ශිෂ්‍ය පරමපරාවට දක්වන ආදරය ගැන කියපු ධර්මසිරි ඒ අතරින් කියපු වැදගත්ම කාරණා දෙක විතරක් මෙතන සටහන් කරහම ඇති කියලා මට හිතුණා.

ධර්මසිරි ට මේ ආරාධනාව ලැබෙන්නෙ මේ වන විට රටේ ඉන්න සිරාම කලාකාරයො කියල පෙනී සිටින ලිස්ට් එකකට කළ ආමන්ත්‍රණයට පසුවයි.ඒකත් අඩුවට ගෙන්න ගන්න.මොකද ඇතැම් කලාකාරයො මේකට එන්න කිව්වම ඉල්ලල තියෙන ගාණ රුපියල් 65,000 ක් වගෙ.ධර්මසිරි මේවා ඉස්සරහට නම් එක්ක හෙළිදරව් කරනවා කිව්වා.හැබැයි එතන හෙළිදරව් නොකරන්න ඇත්තෙ ආනන්ද බාලිකාව හොද අතට වර්ධනය කරමින් ඉන්න විදුහල්පතිතුමිය ට අත් විය හැකි ඉරණම ගැන හිතලා.

ඔන්න අනාගතය ගැන සුබ කරන්න කතා කරන්න අයගෙ වැඩ.මේ අය අතර වාසලේ වැඩ කරන වන්දිභට්ටයොත් ඉන්න බවයි ධර්මසිරිගෙ කතාවෙන් පස්සෙ ආව ඇතැම් කසු-කුසු වලින් ඇහුණෙ.සමහර වෙලාවට මෙතන ධර්මසිරිගෙම නාට්‍යවල වැඩ කරපු රංගන ශිල්පීන් ඇති.තත්ත්වය මේකනම් මුන්ට හදිස්සියකට සයවර් කඩයකට වද්ද ගන්නත් බයයි.මේ කරන ඒව දැන ගත්තොත් මේ වගෙ එව්වො ගොඩ වෙන කඩේකින් බල්ලොත් බත් කන්නෙ නැහැ.ඒත් මේ අය හිතං ඉන්නෙ කඩේට ආලොක්යක් එකතු වුණා කියලනෙ.ඒ නිසා සල්ලි නොදි යයි.මුදලාලිගෙ පපුවෙ ගින්දර තියලා.

ධර්මසිරි කතාව ඉවර කළේ ඩේවිඩ් පියතුමාගෙන්.යාපනයේ පුස්තකාලය ගිනි ගනිද්දි ඒ පණිවිඩය දුරකතනයකින් අහපු ඩේවිඩ් පියතුමා මිය ගියා.භාෂා 17 ක් කතා කළ හැකිව තිබූ එතුමා ට මිය යන්නට සිදු වුන ආකාරයේ සිදුවීමක් යළිත් සිදු නොවේවා යන්න ධර්මසීරිගෙ ප්‍රාර්ථනය වූවේ දරුවන්ට දිය හැකි හොදම පණිවිඩය ඒ සිසුවියන්ට සිය ඥානයෙන් ඇද ගන්නට මාවත සකසමින්.

දැණුම ජීවිතය තරම්ම වැදගත්.පොත පත යනු ජීවිතයයි.ඒ ජීවිතය පරිස්සම් කර ගන්න.

මේ දේ කියන්න ධර්මසිරි තෝරා ගත් සිදුවීමේ අප විසින් නොතකා හරින ලද ජාතියේ සියළු අවාසනාවන් සහ දේශපාලනික අද බාල බව කදිමට තිබුණා.

ඒකට සමවැදිලා ආපු මට රිහසල් කරන්න තරම්වත් හයියක් තිබුණේ නැහැ.අසනීපයි.මම කොහොමද ඉතිං සනත්ලගෙ මංජුලලගෙ අකුරු ඉඹින්න යන්නෙ.මම ගෙදර ආවා.ඒත් ධර්මසිරිගෙ වචන නිදියන්න දෙන්නෙ නැහැ.අමාරුවෙන් නැගිටලා මම මගේ අකුරුත් අවදි කළා...

14 comments:

  1. කෝට්ටේ නගරසභාව ඉස්සරහ තිබ්බ පුස්තකාලේ ඊයේ වෙනකොට සම්පූර්ණයෙන් බිමට සමතලා කරලා දාලා. ආරංචිය සුපර් මාකට් එකක් දාන්න කියලා. පුස්තකාලේ වෙනතැනකට ගෙනිච්චද කියලා හොයාගන්න් බැරිවුනා. මම දැනට දන්නා තරමින් එහෙම දෙයක් වෙලා නෑ .
    එක අතකට පුස්තකාලෙකට වඩා සුපර් මාකට් එකක් කොච්චර වටිනවද

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත සුපර් නෙ

      Delete
  2. ඇත්තටම කැම්පස් ගියයින් පස්සෙ නාන්නේ නැද්ද? පිලිගැනීම කරන්නෙත් නාවලා නේද?

    මට හරි ආසයි පොලීසිය නාවන්න.. ඔහොම නෙමෙයි හෙලිවැල්ලෙන්..

    ReplyDelete
    Replies
    1. නාවන්නෙ වතුරෙන් ද?

      Delete
    2. නාන්න හොස්ටල් වල වතුර නෑනෙ.
      ඒකයි පොලිස් මාමලා වතුර ගෙනත් නාවන්නෙ. ආදරේට.

      Delete
  3. කලාකාරයෝ කියල අපි බෝම උඩින් තියන් ඉන්න අයගේ මාර්කට් එක ඕක තමයි නිශී. ඒ අතින් කපුගේලා කොයි තරං විශිෂ්ටද? නීලා කොයි තරං අගේද?? සල්ලි නැතිව හුස්ම ගන්නැති ගානටයි දැං වැඩ සිද්ධ වෙන්නේ. උන්ට වරදක් කියලත් බෑ බං මේක සමාජ ක්‍රමයේ වැරැද්ද..

    ReplyDelete
    Replies
    1. මට පේන්නෙ මුං සමාජෙට වරද්දනවා මචං

      Delete
  4. හැමදේම මාකට් වෙන ලෝකෙක කලාව මාර්කට් නොවී තියෙන්න බෑනෙ. අවුල තියෙන්නෙ මුන් රට පටලගෙන කලාවත් එක්ක මනුස්සකමත් මාර්කට් කරන්න යන එක.

    ඔයවගේ කලාකාරයෙක් ගැන අපි අඳුරන ටේලර් මහත්තයෙක් කිවුව දවසක්. ඇඳුම් මහගෙන ලොකු ටෝක් දීලා සල්ලි නොදී යන හැටි. ඒ වගේ මිනිස්සු නිසා කලාවට සම්බන්ධ හැමෝටම එකම ලේබල් එක වදිනවනෙ අන්තිමට.

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට ටේලර්ට වඩා උසස් රැකියාවක් ඩෙන්ටීස්ට් කියන එක නේද?

      Delete
  5. කලාවට කොහෙන්ද අයිතිකාරයෝ.එත් එත් අපේ රටේ එහෙම නෙමේ.වන්දි භට්ටයෝ තමයි ජනතාවාදී කලාකාරයෝ වෙලා ඉන්නේ.

    ReplyDelete
  6. අසනීපෙන් උනත් ලිවිල්ලට ස්තුතියි. අසනීපය සුවවේවා කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  7. අසනීපෙන් වුණත් සනීපෙන් වගේ ඉන්නවා

    ReplyDelete
  8. අපෙ විදානෙ ගොයියා තමා මේ පැත්තට පාර කීවෙ..
    නාට්‍යක් තියනවලු නේ...
    එන්නංකො ඈ..

    ReplyDelete