Thursday, July 24, 2014

කළු ජූලියේ මගේ වීරයා

ජාතියට ආගමට නොව මිනිස්සුන්ට ගරු කළ යුතු බව මට කීවේ තාත්තාය.කතෝලික මවක් සහ බෞද්ධ පියෙකු අම්මා සහ තාත්තා වූ මගේ තාත්තා මගේ අම්මාගේ බැදීමත් එක්ක කතෝලික කම අත හැර තිබුණේය.එහෙත් ඔහු කවදාවත් කතෝලික කමවත් බෞද්ධකමවත් බැද ගෙන සිටියේ නැත.අම්මාගේ විවාහයෙන් පසුව රත්නපුරයට එන තාත්තා ට අප ජීවත් වූ ප්‍රදේශයේ කතෝලික ආගම් සංස්කෘතියක් නොතිබීම ද ඔහු බෞද්ධයෙක් ලෙස මතු වන්නට හේතු වන්නට ඇත.රත්නපුර ගල්ලෑල්ල පුරාණ විහාරයේ පෙරහැරේ ධාතු වැඩමවීම සදහා ද සහභාගි වූ තාත්තාට, මල්වල,දෙහෙනකන්ද,බානගොඩ වැනි ප්‍රදේශවල විහාරස්ථාන සමගත් ලොකු සම්බන්ධයක් තිබුණා.ඒ වගේම ගලබඩ,හපුගස්තැන්න වැනි ප්‍රදේශවල කෝවිල් වලටත් තාත්තා ගේ සහභාගීත්වය ලැබුණා.

මේ තාත්තාගේ සාමාන්‍ය තත්ත්වය වූ අතර හැම ආගමකම,ජාතියකම මිනිසුන් බෙහෙවින් ඔහුට ආදරය කළේ ඔහු මිනිසුන්ට දැක් වූ අසීමිත ආදරය නිසාමයි.ජීවිතයේ දෙවුන්දරතුඩුවේ ඉදල පේදුරුතුඩුව දක්වා මානව සබදතා තිබුණු තාත්තා හැම ජාතියකම ආගමකම මිනිසුන් ට බේදයකින් තොරව ආදරය කරන්නත් ඔවුන්ගේ මනුස්සකම්වලට ගරු කරන්නටත් පුරුදුව සිටියා.

ජූලි කළබලය ඇති වන මොහොතේ අප සිටි දුරෙක්කන්ද නම් වූ ගමට සිටියේ එකම දෙමළ පවුලයි.සුන්දරම් ඒ ගෙදර ගෘහ මූලිකයා වුණා.රට පුරා ඇති වූ මං පහරන ජාතිවාදි කොල්ලයේ උණුසුම අවට ප්‍රදේශ වල පැතිර තිබුණා.සමහර ලැයිම් වල කුකුළු කූඩු පවා ජාතියට දැක් වූ ආදරය වෙනුවෙන් සිංහලයන් අතින් හිස් වෙලා තිබෙන බවට තොරතොරු පැතිර ගියා.

රත්නපුර කහවත්තෙ පල්ලියකට ජීවිත ආරක්ෂාව පතා පැමිණි අහිංසක දෙමළ ජාතිකයන් මරා දමා තිබූ ම්ලේච්ඡ ආකාරය ඒ වෙන විටත් පැතිර ගියේ සිංහලකම ට, මංකොල්ල කන්නට සහ අහිංසකයන් මරා දමන්නට තටු අන්දවමින්.මේ සිද්ධිය වෙනකොට තාත්තා හිටියෙ කහවත්තෙ.ඒ වන විට හුසෙයින් මැණික් ආයතනයේ සේවය කරපු තාත්තාට මේ ම්ලේච්ඡ සිදුවීම සමග සිහියට නැගිල තියෙන්නෙ සුන්දරම්.

රටම ඇදිරි නීතියෙන් අදුරු වෙලා තියෙන මොහොතක තාත්තාට ගෙදර එන්න වාහන තිබිලා නැහැ.පො‍ලීසිය දන්න කෙනෙක් වීමේ ආරක්ෂාවත් සමග පාරට බැස්ස තාත්තා පයින්ම එන්න පිටත් වෙලා.අතර මගදි පොලිස් වාහන වලින් පොඩි දුරකට ප්‍රවාහන පහසුකම් සළසා ගෙන.දෙමනගම්මන ගෝනකුඹුර හරහා සැතපුම් තිහක පමණයැයි සිතිය හැකි දුරක ගෙවා නිවසට පැමිණියා.ඇටිකෙහෙල්පොල සිට කම්බි පාලමෙන් අන්ධකාරයේ පැමිණි තාත්තාගෙ පය ලිස්සා සිදු වූ තුවාලයෙන්ද,කූඩැල්ලන් විසින් ඇති කරන ලද තුවාල වලින් ද ලේ වැගිරෙමින් තිබුණු අතර නිවසට පැමිණි වහා මාත් සමග සුන්දරම්ලාගේ නිවස බලා කන්ද තරණය කළා.

'අනතුරක  ඉව' විසින් බිත්ති හතර ඉතිරි කළ සුන්දරම්ලා නිවෙසින් පලා ගොස් තිබිණ.සුන්දරම් සුන්දරම් යැයි තාත්තා හඩ තලන්නට විය.පිළිතුරක් නැත.රබර් යායත් ඊට  උඩින් පිහිටි කැකිල්ල යායත් අදුරු හෙවනැලි ලෙසින් දිස් වුණා පමණි.

සුන්දරම් මම නෙවිල් මහත්තයා.......

ප්‍රකාශයෙන් ටික මොහොතකට පසු උඩ කැකිල්ල යාය සසැලින.පවුල් කිහිපයක එකතුවක් වූ ඒ ගෙදර සාමාජිකයන් අතර අවුරුදු දෙක තුන නොඉක්ම වූ අය ද වූහ.මතකයේ හැටියට උසම පුද්ගලයා වූ ගනේෂන් සුන්දරම්ගේ දියණිය වූ සත්‍යබාමා ගේ සැමියාය.අදුරු හෙවනැලි නැගිටි විට උස සහ මිටි වූ විවිධ ප්‍රමාණයේ සෙවනැලි දිස්වන්නට විණ.

ලොකු - පුංචි කම් නොසැළකු කූඩැල්ලන් සැමගේම සිරුර විද ලේ හැලීමෙන් ඇති වූ කැළල් සමග පිරිස තාත්තා වටා රොක් විය.අනතුරුව ජීවිතය ලබා දෙන්නට පැමිණි මිනිසා ඉදිරියෙ මහත් විශ්වාසයෙන් යුතුව ඔවුන්ගේ දෙදණ නැවින.පිරිස ට නායකත්වය දෙමින් තාත්තා පෙරමුණ ගත්තේය.මා හා සම වයසේ සිටි සත්‍ය අජිත් සමග මම මිනිස් පෙරහැරේ පසුපසටම වැටිණ.
මොහොතකින් අපේ නිදන කාමරය ඒ සියළු දෙනා වෙනුවෙන් වෙන් කර දුන් අප සාලයේ පැදුරක් එලා ගත්තේය.ඒ අම්මාත් තාත්තාත් මමත්ය.

තවත් ටික වේලාවකින් අපේ නිවස පසු කර ඉහළට (සුන්දරම්ලාගේ නිවස දෙසට ) යන හඩවල් කිහිපයක් ඇසිණ.තාත්තා දොර ඇරගෙන එළියට බැස්සේය.

පිරිස අපේ පතල්වල සිටි සහ සිටින පිරිසකි.

...........
අද වන විට විදුහල්පතිවරයෙක් බවට තොරතොරු ඇති තාත්තාම මැදිහත්ව ගුරු පත්වීම ලබා ගැනීමට උපකාරි කළ අයෙක් ගේ නම අඩ ගැසිණ.ඊ ළග මොහොතේ සියල්ලෝම අප ස්තෝප්පුවේය.පුංචි මිනිසෙක් වුව ද ශක්තිවන්තයෙක් වූ තාත්තාගේ පරික්ෂාවෙන් කඩු වැනි ආයුධ කිහිපයක්ද ඒ සරම් යට සැගවී තිබි එලියට ආවේය.

සුන්දරම්ල මරන්නද ......?

නෑ මහත්තයා අපේ ජාතිය ආගම......

පාසල් ගුරුවරයාගේ දේශනයට ඉඩක් නොතැබිණ.

සුන්දරම්ලා අපේ ගේ ඇතුලෙ ඉන්නවා.එච්චර දුර යන්න ඕනි නැහැ.හැබැයි මාව මරල තමයි මරන්න වෙන්නෙ.

කඩුව ඔවුන් වෙත දිගු විය.ඒ පළමු මරණය ලෙස තාත්තා ඉදිරිපත් වෙමින්ය.

මොකද උඹලගේ අම්මලා තාත්තල අඹු දරුවො උඹලව බේරල දෙන්න කියලා තව ටික දවසකින් මෙහාට එන කොට මට දරං ඉන්න බැහැ.හරක් ලිහලා දැම්මම වතු වලට පනිනවා.ආපහු ලිහල දාපු එව්වොම අල්ලං ඇවිත් වතු පාලු කළා කියල ගහනවා.

තාත්තා එදා කියූ දේ මට තේරුණේ බොහෝ කල් ගොස් ය.අපරාධ කරන්නේද මෙහෙයවන්නේද දඩුවම් දෙන්නේද යන සියල්ල එකම මෙහෙයුම් මැදිරියක සිට සිදු වන්නේය.අප කරන්නේ ඒ මෙහෙයුම් මැදිරියේ විධානයන්ගෙන් අපේ රුචිකත්වය තෝරා ගෙන එයට ශක්තිය දෙන්නට කැප වීමය.කළු ජූලිය නොව මේ සෑම යුද්ධයකම ම්ලෙච්ඡත්වය පිටුපස හේතුපාඨය ලෙස මෙයම ලියැවි ඇති බව නිසැකය.

කළු ජූලිය සිහිකරන මොහොතේ මම ඒ අසුන්දර දේ ම සිහිපත් නොකොට එම අරගලයේ මැරකම් සහ හොරකම් නිසා අසළ ගම් හැම එකකම අත් අඩංගුවට පත් වෙද්දී දුරෙක්කන්දේ එකෙකු හෝ අත් අඩංගුවට පත් නොවීම ගැනත්,සුන්දරම්ලාගේ ජීවිතයට තබා ඔවුන්ගේ නිවසේ සිටි කුකුළන්ගේ පිහාටුවකටවත් හානියක් නොවන්නට තාත්තා කළ උදාර මානුෂික මා‍ැදිහත් වීම ඇසට කදුළක් නංවන්නේය.ඒ දුකට නොව එයට දායක වූ ආත්ම සතුට හේතුවෙන්ය.ඒත් බොහොම ංවේදි මොහොතක් ගාණේ මගේ ඇසට කදුළු උනන්නේ නම් තාත්තා සිහි විම නිසාය.ඒ අඩුව ජීවිතයේ කවදාකවත් පියවන්නට නොහැකිය.

හැමදාම ඉන්න තිබුණා....

තාත්තා ගැන මට හිතෙන්නේම එහෙමය.හැමදාම මනුස්සකම් ක්ෂය වන ලෝකයේ තාත්තාගේ ආදරණීය මතකය ඇති මගේ මිතුරන් සහ තාත්තාගේ හිතවතුන්ට ද තාත්තා ගැන විවිධ අවස්ථාවල එවැනි හැගිම් ඇති වනවාට සැක නැත. 

24 comments:

  1. උඹ නාට්ටි කාරයෙක් වෙන එක අහන්නත් දෙයක්ද? මාර ලිවිල්ලක් මචෝ..

    ඔය වගේ රත්තරන් මිනිස්සුත් උන්නා. අවුරුදු පහක්ට විතර පස්සෙ අර ඉස්කෝලේ මහත්තයට තේරෙන්න ඇති උඹලයි තාත්තා කියපු කතාව.

    ReplyDelete
  2. වචන ඇහෙන ප්‍රමානය ඇතුලෙ තියෙන යථාර්තයන් තේරුම් ගන්නවනම් ගොඩක් දේවල් වෙනස් වෙයි.ඇහැව්වට කියෙව්වට ඒවා විදින්නෙ සහ හදවතට ඔබා ගන්න මිනිස්සු ඉන්නෙ කීයෙන් කී දෙනාද?

    ස්තූතියි මාතලන් උඹ හැම වෙලේම මගේ ලිවීමත් එක්ක ඉදීම ගැන

    ReplyDelete
  3. සැබෑ වීරයෝ කපුටු වසුරු පෙරා උස් තැන්හි නොසිටිති
    හද පතුල් ගැබුරේ වෙසෙති

    ReplyDelete
    Replies
    1. අපුරු කියමනක්.

      Delete
    2. පට්ට ස්තූතියි

      Delete
  4. ඔබේ තාත්තා මගෙත් වීරයෙක්.
    ඔය ජාතිවාදය අවස්ථාවාදී කපටි දේශපාලකයින්ගේ අවජාතක දරුවෙක්.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ 'ඇත්ත ජාතිවාදය අවස්ථාවාදී කපටි දේශපාලකයින්ගේ අවජාතක දරුවෙක්.'

      Delete
  5. //හරක් ලිහලා දැම්මම වතු වලට පනිනවා.ආපහු ලිහල දාපු එව්වොම අල්ලං ඇවිත් වතු පාලු කළා කියල ගහනවා.//

    ඔය තිරනාටකය තමයි එක එක විලාසයෙන් රඟ දැක්වෙන්නෙ නිෂ්මන් අයියේ...

    ReplyDelete
    Replies
    1. යාපනේ ඉදල ගාසා දක්වාම වැඩේ වෙනවා.ඩිරෙක්ටර්ස්ලා වෙනස්

      Delete
  6. සුන්දරම් ලා මට මතකයි. ඒත් ජූලි කලබල දවස්වල මම එහේ හිටියෙ නෑ. ඉස්කෝල නිවාඩු නිසා ගමේ හිටියෙ.
    අපේ ගමෙත් වතු දෙකක් තියෙනවා. ඒවට ගේමක් දෙන්න යටියන්තොට මන්ත්‍රී, වින්සන්ට් පෙරේරාගෙ මැර කල්ලි ආවත් අපේ තාත්තලා ඇතුළු තරුණ පිරිසගේ මැදිහත් වීම නිසා අතවත් තියන්න ලැබුණෙ නෑ. ආපු වාහනත් කුඩු කළා. ඒ අපේ තාත්තලා වාම දේශපාලනයෙන් ලබපු යහපත් දායාදයි.
    නෙවිල් අන්කල් වාමාංශිකයෙක් නෙවෙයි, ඔහු ඉතා හොඳ මනුෂ්‍යයෙක් ගම් ප්‍රදේශයේ කෙනෙකුට කරදරයක් වුනොත් තරාතිරම කුමක් වුවත් එතන අනිවාර්යයෙන්ම ඉන්නා නොඋස් සද්දන්තයා ඔහුයි.
    ඔහු උඹේ විතරක් නෙවෙයි අපෙත් වීරයෙක්.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං තාත්තා හැමෝටම පියෙක් උඹට ඒ ගැන අත්දැකීම් තියෙනවා ඒ ගැන එහෙම විශාල හදවතක් තියෙන මිනිහෙක්..........මට හැම වෙලාවෙම ඒ අඩුව දැනෙන්නෙ ඒකයි

      Delete
    2. තාත්තා දේශපාලනය පටන් ගන්නෙ වමෙන් මචං,ලංකාවෙ හිටපු ප්‍රධාන පෙළේ වාම නායකයෙක් එක්ක වැඩ කරන්නෙ.දිනන්න බැරිව තිබුණු වනාතෙ කාදර් නානාගෙ වත්ත කියන ප්‍රදේශය වාමාංශික දේශපාලනඥයට දිනා දෙන්න කටයුතු කරන තාත්තා ඡන්දෙ ප්‍රතිපලත් එක්ක ඔහුට කතා කරනවා ඒ ප්‍රදේශයට යන්න.නමුත් ඔහුගේ උත්තරය වුණේ "අපෝ නෙවිල් .තමුසෙත් යන්න එපා ඔය යක්කු සත්තු වගෙ කොට්ඨාශයක් මොනව කරයිද දන්නෙ නැහැ " යන්නයි.

      ඒ මොහොතෙම රතු පාට ෂර්ට් එක ඉරලා ඒ දේශපාලනඥයගෙ මූණට ගහල එන තාත්තා ආයෙත් අන්තිම කාලෙ මමත් එක්ක පොඩි නැමීමක් වමට එනකං වම සම්බන්ධයෙන් දැක් වූවේ පිළිකුලක්.හැබැයි ඇතුලෙ හැම වෙලාවෙම වමේ ප්‍රතිපත්තිවල ඉන්න පරිත්‍යාගශීලී දැවැන්තය තාත්තා ඇතුලෙ හිටියා.

      සුමිත් උඹ මේ සටහනෙ එන අනිත් චරිතත් දන්න නිසා මම විස්තර කියන්නෙ නැහැ.ඒ වගෙම මිනිස්සුන්ගෙ හදවතේ තියෙන වාමාංශික හැගිම් වලට අතවර කරන්න මම අකමැති නිසා දේශපාලනඥයා කවුද කියන්නෙත් නැහැ.

      Delete
    3. /* වාහනත් කුඩු කළා. ඒ අපේ තාත්තලා වාම දේශපාලනයෙන් ලබපු යහපත් දායාදයි.*/

      @ සුමිත්,

      ඒකත් එහෙමද?

      ජේවීපී එකෙන් නම් කළේ වාහන ගිනි තැබීම නේ 1987 ජූලියේ සිට 1999 අග දක්වාම!.

      මට මතකයි විජේවීර ගේ මරණයෙන් පසුවත් බස් ඩිපෝවක්ම ගිනි තැබුව බවට ඇසූ ප්‍රවෘත්තියක්.

      Delete
    4. මගේ කමෙන්ට් එකේ ඡේද හරියට කඩාගන්න අමතක වුන හින්දා, කකා ට හයිලයිට් කරගන්න කෑල්ලක් අල්ලගන්න ලේසී වුනා නේ ද.?

      කොහොමහරි කකා දැක්කෙ වතු දෙකක අහිංසක දෙමළ මිනිස්සුන්ගෙ දේපල ජීවිත ආරක්ෂාවුන එක නෙවෙයි, ඒ මිනිස්සුන්ව මරන්න ආපු යූ එන් පී මැරයින්ගේ වාහන කුඩු කරපු එකයි. ඔන්න මිනිස්සු... :D

      //ජේවීපී එකෙන් නම් කළේ වාහන ගිනි තැබීම නේ 1987 ජූලියේ සිට 1999 අග දක්වාම!. //

      අඩුම ගණනෙ ‘89අග දක්වා කිව්වනම් සාධාරණයි. 1999 අග දක්වා...!!!

      කකා ‘99 දී ජේ වී පී ය ගිනි තිබ්බ නම් ඒ ‘කතා බස්“ විතරයි; ඒකත් ටී වී වල යන කුකුල් පොරවලදි.

      කකා ඇතුළු මධ්‍යම පන්තික නෝනා මහත්තුරු හිතාගෙන ඉන්නෙ කැරළි කියන්නෙ කටින් කටට හකුරු හැපෙන තල කැරළි වගේ රස කැවිල්ලක් විදියට විය යුතුයි.

      කැරළි කියන්නෙ අනිවාර්යයෙන්ම විනාශයක්. ..! සම්මත සාමය මුළුමනින්ම බිඳ වැටෙන අවස්ථාවක්.
      තමා ඉදිරියේ පැහැදිළිවම පෙනෙන්න තියෙන මරණීය අනතුර හිස දරාගෙන කිසිවෙක් ආසාවෙන් කැරළි ගහන්නෙ නෑ. වෙනත් කිසිදු විකල්පයක් නැති තැනයි ඔවුන් ඒ තැනට පත් වෙන්නෙ.
      කොහොම වුනත් ‘87 - ‘89 කාලයේ දී ජේ වී පී ය කළ විනාශය වගේ සිය දහස් ගුණයක විනාශයක් ‘83 දි යූ ඇන් පී ය කළා. කොටින්ම ‘89 කියන්නෙත් ‘83 නේ නිර්මාණයක්.

      අපි හොඳින්ම දන්නවා කකා මෙහෙම කමෙන්ට් කරන්නෙ ඒවා නොදැන නෙවෙයි කියලා... :D

      Delete
    5. @ සුමිත්......+++++++++++මම මේ කථාවට සම්පූර්ණයෙන්ම එකඟයි. මේ ගැන මීට වඩා ලියන්න පුළුවන්. නමුත් මේ ඒකට වෙලාව නෙමේ.

      Delete
    6. Sumith,
      මට 1999 කියා ටයිප් වී ඇත්තේ වැරදීමකින්. එය 1989 විය යුතුයි.

      ජීවිත සහ දේපල විනාශයට පැමිණි ජාතිවාදීන්ට විරුද්ධව කටයුතු කරද්දී ඔබේ පියා වාහන කුඩු කළා යැයි සිතන්නට මා අකමැතියි. ටයර්වල හුලං ඇරීමක් වැනි දෙයකින් ඒ අවශ්‍යතාවය ඉටු කරගන්නට තිබුණා.

      Delete
    7. ඇත්තට ම සිද්ධ වෙලා තිබුණෙත් ඒක තමයි කකා, මැරයින්ට ගහලා වාහනවලටත් ගහලා උන්ව පලවා හැරපු එකයි. කොටින්ම ඔවුන් පලා ගිහින් තිබුණෙත් ඒ වාහන වලමයි.

      කුඩු කළා කිව්ව ට වීදුරු බිඳලා, බොනට් තලලා අලාබ හානි කරන්න ඇති. නමුත් කියමනට කියන්නෙ අරෙහෙමයි. ඇල්වතුර නිවනවා වගේ වචන හසුරුවන්න බෑනේ. සිද්ධියේ තරමට වචනවලට බර තියන්න ඕන....:)

      Delete
    8. 83 බොහෝ දේ නොවේ ඊටත් පෙර සිට පැවත එන බොහෝ දේ තමයි මේ දළුලා වඩෙන්නෙ.අදත් යම් යම් ජාතිවාදි ප්‍රවනතා දේශයක් ලෙස අපිය ම්ලේච්ඡත්වයට කැන්දන් යන්න ආරාධනා කරනවා.පරිස්සමෙන්.තැනකදි එනවා අපි පරිස්සම් වෙනවද රට පරිස්සම් වෙනවද කියලා තැනක්.හැබැයි එතනදි පරිස්සම් වෙන්න වෙන්න අපි තෝර ගන්නෙ පිවිතුරුම මගද කියලා.එතනදි සවයං විනය කියන එක අංක එක වෙනවා.මම මේ කියන දේ සුමියට කොහොමත් තේරෙනවා.කකා ත් තේරෙන් නැහැ වගේ කතා කරයි.හැබැයි දෙන්නටම තේරෙනවා.අරු ගැන මොකුත් කියන්නෙ නැහැ මම

      Delete
  7. තව හරියට ම මාසෙකින් නාට්‍යය වේදිකා ගත කොරනවා නේද???

    ReplyDelete
    Replies
    1. wැත්තටම තව මාසයයි නේද?අපි නාට්‍යය අරං යාපනයෙ යනවා ඊ ළගට.මිනිස්සුන්ගෙ ආදරය බොහෝ දේවල් එකතු කරමින් තිබෙනවා

      Delete
  8. මිතුර
    මේ කතාව මුල්වර කියවූ පසු මට හිතුනේ එවැනි පියෙකුගේ පුතෙකුව උපන් ඔබ කෙතරම් නිවුණු කෙනෙක් විය යුතුද කියායි.

    අද මෙහි පැමිණ කමෙන්ට් කියවූ පසු ඔබේ පියා වාමාංශිකයෙකු වූවාට පක්‍ෂ දේශපාලනයට පෙර මනුස්සකම පෙරට ගත් අයෙක් බවද වැටහුණා.

    බොහෝ දෙනෙකුට වරදින්නේ කොච්චර මිනිස්කම අගය කරන අය වුණත් පක්‍ෂ ගෝත්‍රවාදය හමුවේ මනුස්සකම අමතක කරන්නට වීම නිසයි.

    පියාටත් වඩා හොඳ පියෙක් වෙන්න උත්සාහ කරන්න! එවැනි උතුම් පියෙකුට ඔබට කළ හැකි හොඳම සැලකීම එයයි.

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම කකා ඔබ හරි.තාත්තා ගැන මනුස්සෙක් විදිහට හිතන්න ලැබෙන එක තමයි මම ලබපු ලොකුම දේ.මටත් උඹේ තාත්තා මාර හොදයි කියල කියනවනම් මගේ ළමෙක්ට කවුරුහරි මම ළමයට ඉහළම දේ දෙනව වෙනවා.අදටත් දුවගෙ වගේම ප්‍රතාගෙ පාසල් වල දරුවො පිටස්තර දෙමාපියන්ගෙන් වැඩියම සමීප මට.කෙල්ලටනම් ඒකට කේන්තිත් එක්ක.පංතියට ගිය ගමන් පැටව් ටික මගේ ඇගේ

      Delete
  9. මචං.....එවන් මිනිසුන් අපේ සමාජයට කියාදුන් පාඩම්වලින් ඉගෙනගත්ත එවුන් කෝ දැන්..

    83 අත්දැකීම් රාශියක් මට තියෙනවා. ඒ ගැන ලියන්නම ඕන. මම දුටු වීරයා මගේ වයිෆ්ගේ අම්මා. මමයි, වයිෆුයි වැඩ කරේ ඔබරෝයි එකේ ඒ දවස්වල. අපිත් එක්ක වැඩකරපු මයිකල් සහ දිල්හානි(දෙන්නාම දෙමළ )වැඩට ආවේ නැහැ ( මේ කාලකන්නි ගිනිතියන්න පටන් ගත්ත මුල් දවසේ.) වයිෆ් ගිහින් නිකම් අම්මාට කියලා ඒ ගැන. ඉන්නේ කොහෙද කියලා අහගෙන මේ අම්මා දවල් වරුවේ කාටවත් නොකියා තනියෙන් ගිහින් ඒ ලමයි දෙන්නාව බේරගෙන ගෙනාවා. එහෙම යන්න පුළුවන් කාලයක් නෙමෙයි ඒක. වැලි ලොරියක නැගලා ඇවිත් කොලොන්නාවේ හන්දියෙන් බැහැලා තිබුනේ. ගෙදර අයගෙන් බැනුම් අහලා තිබුනා ඈ ගත්ත අවදානම ගැන. නමුත් ජීවිත දෙකක් බේරුවා . ඒනිසා ඒ දෙන්නාගේ දෙමව්පියන්ව වෙන ආරක්ෂිත තැනකට ගෙනියන්න අපට හැකිවුනා. අන්න මිනිස්සු. මේ කතාව මෙහෙම ලියන්න බැහැ. ඒවටා බැඳුනු සිද්ධි රාශියක් තියෙනවා. මම 83 ගැන ලියනකොට ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නගෙ පට්ට සමානකම් ගොඩක් තියෙනවා ජීවිත අත්දැකීම් වල බෙදා ගන්න.ඒක දුව අතේ උමට එවන්න බැහැ.උඹටම එන්න වෙනවා මචෝ.ජයවේවා!

      Delete