Friday, April 3, 2015

මුහුදු පතුල යට ඉඳ ගොඩ ගත් දරු සෙනෙහස

unnamed

නැවතත් පුතු හරහා යමක් ලියන්නට වී ඇත. ඒ පුතුගේ වෘත්තීය මධ්‍යස්ථානය ගැනය. වැඩි යමක් නොකියමි.මෙවැනි පිං ඇති සහ ෆන් ඇති පෙමැති වැඩකට සෙට් වෙන්න ඔබත් කැමතිනම් එම ස්ථානය ඇමතිය හැකි දුරකථන අංකය - 033 22 79 321 
ඇයි අඩන්නෙ?’
මුහුදු පතුල යට ඉඳලා ගීතය ගැයිමෙන් පසු මට තුරුළු වන පුතකු ගෙන් මම විසමි.
‘මට අම්මව මතක් වුණා මාමේ’
වචන නිවැරදිව නොකිය වුණ ද ඒ කියන දේ පැහැදිලි ය. ගීතයෙන් කවරක් කියැවුණ ද මේ අහිංසකයා ගේ මනස පුරා තම  ආදරණීය අම්මා ගේ රුව මවන්නට ඒ පද පෙළ සමත් ව ඇති සෙයකි. ආදරණීය මවකගේ සෙනෙහස ඔහු ගේ ඇස්වලට  කඳුළු නංවා ඇත. මම ඔහු තුරුළට ගෙන සිස සෙමෙන් සිප ගනිමි. එදෙස බලා හුන් ම‘පුත් ජාරක ද ඈත සිට දිවැවිත්   ‘ජීවිතේ‘යි කියමින් අනෙක් පසින් මට තුරුළු වෙයි. මම දෙදෙනා ම තවත් මගේ තුරුළට සිර කර ගනිමි.
මේ සිදුවීම හුය ඔස්සේ සිත අතීතයට දිව යයි. ඇතැම් විටෙක අප කියන දේ පැහැදිලි ව තේරුම් ගන්නට නොහැකිව දෑස්  විසල් කර අප දෙස බලා සිටින පුතුගේ රුව මා දෙනෙත අබියස මැවී පෙනෙයි. එවන් විසල් දෑස් විශාල ප්‍රමාණයක් බලන   බලන හැමතක ම මා නෙත් ගැටෙයි. අනවබෝධය සහ අවබෝධය අතර සරන ඔවුන්ගේ මනස් ඒ මුහුණුවලින්  සැඟවෙන්නේ නැත. සතුට ද දුක ද අව්‍යාජ ව පෙරට පනියි. නෙතග සිහිලකින් තෙත් වෙයි. උපැස් යුවළ අතට ගෙන නෙත්    අග තෙත් කළ කඳුළ මම කාටත් පෙනෙන සේ පිස ගතිමි.
‘මේ දරුවො මෙහෙම සන්තෝසෙන් හැමදාම තියන්න පුළුවන්නම් ඒක කොච්චර පිනක්ද?‘ ම‘සිතේ සසල බව දෙනෙතින් එළි දුටු බව ඉවෙන් මෙන් වටහා ගත් අයුරක් පාමින් මා බිරිය ද අප සමීපයට එමින් කොඳුළා ය.
‘ඇත්තටම ලොකු පිනක් තමයි‘ මම පිළිවදන් දුනිමි.
බොහෝවිට අප යමකින් බලාපොරොත්තු වන්නේ පිං ය. ඒත් මෙතැන දිවි ගෙවන දරුවන්ට ඇවැසි පිනට වඩා පෙම ය. ඒ    පෙම මවු පෙම, පිය පෙම හෝ සහෝදර පෙම විය යුතු නොවේදැයි මට සිතුණේ ඔවුන් හා ඒ ගත කළ හෝරා කිහිපයේ දී ඒ   බව අප සැමට මැනවින් පසක් වූ නිසා ය.  පින මෙන් ම පෙම යන මේ දෙකම යා වෙන තැනෙක මතු වන සැබෑ අරුත  ලොව වෙන කිසිදු දෙයකින් මෙලොව නොලැබෙන බව මට හැඟෙයි.
මේ කාරණා දෙකම සාක්ෂාත් කර ගත හැකි වූ දිනයක් පසුගිය දිනෙක අපි උදාකර ගත්තෙමු. ඒ වතුරුගම අමුණුකුඹුර පිහිටි විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට වෘත්තීය පුහුණුව ලබා දෙන මධ්‍යස්ථාන පරිශ්‍රයේදී ය.  මෙම මධ්‍යස්ථානයට පිං කැමති බොහෝ දෙනා දානය ලබා දෙන බව මා දන්නේ මගේ පුතා ද එහි නේවාසිකයකු ලෙස    උගන්නා බැවිනි. ම‘පුතු මෙන් ම මෙහි සිටින අනෙක් දරුවන් බොහෝ දෙනා ද එදා වේල සරි කර ගන්නට බැරි පවුල්වල  දරුවෝ නොවෙති. එදා වේලෙන් ඔබ්බට ගොස් මේ දරුවන් ගේ අනාගතය සරිකර ගන්නටඅවශ්‍ය වටපිටාව නිර්මාණය   කිරිමේ සත්කාර්යයට අත ගසා සිටින මෙම ආයතනය ජාතික වගකීමක් ඉටු කරන තැනෙකි.
මෙවැනි ආයතන සද්භාවයෙන් රැක ගැනීමට දායක වන සමාජ මැදිහත් වීම මෙහිදී ‘දානය‘ වෙයි. ඒ දානය මේ දරුවන්  විඳින්නේ ඇබ්බැහි වීමෙනි. හැමදාම ගෙදරින් ලැබෙන සංග්‍රහවලින් දුරස්ව, සිය මානසික තත්ත්වය නිසා ද දුරස්ව සිටින්නට  වීමේ මේ පැටවුන් ගේ හුදෙකලාව පිටතින් පැමිණෙන කෙනකු හා සාමිචීයේ යෙදීමෙන් ලබා ගන්නටත්,  ඊට එකතු කරන  පිරිකර ස්වභාවයේ ඇතැම් පරිත්‍යාගවලින් මහත් වින්දනයක් ලබන්නටත් මේ දරුවෝ හුරු පුරුදුව සිටිති.
මේ අහංසකයන් ගේ සිත්සතන් එක් හෝරාවක්, දෙකක් හෝ වරුවක් සතුටින් තබන්නට මීට වඩා යමක් කළ නොහැකිද? ඒ  හැම මොහොතක ම මගේ සිත කැළඹූ ගැටලුව විය. එයට පිළියමක් ලෙස මට පළමුව සිහියට ආවේ සංගීතය ය.  මගේ  දරුවා සංගීතයට බෙහෙවින්ම ප්‍රිය කරන්නෙකි.  දරුවන් උදෙසා මිහිරි සංගීත දිනක් සූදානම් කළ යුතුයැයි අවසන තීරණය විය.සහභාගි කර ගත යුත්තේ කවුරුන්ද? නම්   ගණනාවක් මතකයේ ඇලී තිබෙයි. එහෙත් ඒ බොහෝ දෙනා මගෙන් ගැලවී මුදල් මත ම ඇලී සිටිති. ඔවුන්ගේ දෙයකදී  මුදල් නැතිව කරන පරිත්‍යාගයක් මට කළ හැකි වුව ද මේ පිරිසට නො කළ හැකි හේතු බොහෝ ය. ආදරය, ළතෙත් මිතු දම    සහ සහෝදරත්වය මිල කරන්නට මේ බොහෝ දෙනා හොඳින් හුරුපුරුදු ව ඇති නිසා ය.
අවසානයේ ව්‍යාපාර සහ සමාජීය ආදරය පටලා නොගත්තකු ලෙස හැඟෙන ලලිත් ධම්මික ඇමතුවෙමි. එයට ආදරණීය   අත්වැල් ගණනාවක් ඇමිනිණි. සමන්ත, දක්ෂ සංගීත නිර්මාපකයකු වන නිරෝෂන් ධම්මික අවසානය දක්වාම අප සමඟ    සිටියෙමු. දුවගේ යහළුවන් හරහා එකතු වූ දියණියකගේ මා – පිය දෙපළක් වන සිදත් සහ දර්ශනී ද ඊට මුල සිට ම එක්ව   සිටිය හ.  ගිය බොහෝ දෙනෙක් පුතා දැන උන්හ. එහෙත් අපේ පුතාට ස්වභායෙන්ම නැති පෙනුමත් සමඟ එහි සිටින බොහෝ දෙනා         ව්‍යවහාරයෙන් ගත් විට අවවර්ධිත දරුවන් ය. එවන් පෙනුමක් නැතත් එහි සිටින මගේ දරුවාත් ‘අවවර්ධිත‘ කියා සාමාන්‍ය සමාජය නොසළකා හරින තත්ත්වයේ අවාසනාවන්තයකු වීමේ හුදෙකලාව තනිව දරා ගන්නට අප පුරුදු වී බොහෝ කල් ය. එහෙත් මගේ පුතා හෝ වෙනත් දරුවන් දෙස විශේෂ අවශ්‍යතා ඇති සහ විශේෂ හැකියාවක් ඇති අය ලෙස බලන්නට මම මගේ පුතා ලැබෙන්නට පෙරම හුරු වී සිටියෙමි.
‘මම ජූඩ්,මම නිවේදන කරන්නද?‘
එක්වරම ඇසුණු හඬකින් මම පියවි ලොවට පතිත වෙමි. සංගීතය සෙමෙන් සෙමෙන් දලු ලා එද්දී එයට පද පෙළක ඇති අඩුව ජූඩ්ට ද දැනෙන්නට ඇත.  ඔහු තුළ වන අවවර්ධිත ඇති මානසික තත්ත්වයට වඩා මතු වී පෙනෙන අතක සහ පයක ඇති ආබාධය ඔහුගේ ආබාධිත තත්ත්වයහඳුනාගැනීම පහසු කරයි. ඔහු නිවේදනයේ දී නිතර ඇසෙන වචන ඒ රිද්මයෙන් ම තෙපළයි. සංගීතය ගැන ද   ඔහුට ඇත්තේ හොඳ ඉවකි. හඬ ද අපූරු ය. ඔවුන් අනුකරණයේ රුසියෝ ය. එහෙත් අනුකරණය සියයට සියයක් නිවැරදි නොවන්නේ ඔවුන් ගේ ඇතැම් ආබාධිත   තත්ත්වයන් හේතුවෙනි. ඔවුන් බිම වැතිර ඉදිරිපත් කරන රංගනයන්ගේ ඉඟි බිඟිවලින් පැහැදිලි කරන්නේ ඔවුන් ඉදිරිපත්
කරන්නට උත්සාහ කරන රංගනයන්ගේ මුල් අවස්ථා ය. ඒ රංගනය ම නොවුණ ද ඒවා හැඩ ය. මන බඳින්නේ කදුළුත් සමඟ ය. ඒ තරම් සතුට හා දුක මිශ්‍ර වෙනත් කඳුළක් ඇද්දැයි මට නොසිතේ.  ඇතැමෙක් සිය කමිසයේ බර නිදහස් කර ගෙන සංගීතයේ සැහැල්ලුව පූර්ණ වශයෙන් විදිමින් සිටිති. ඇතැම් විට  සංගීත සංදර්ශනයක අප දකින නර්තනශීලී තරුණයකු ගේ මෙන් ඉවත් වූ උඩුකය ආවරණය ඔහුගේ ඉණේ එතී ඇත. මේ එතිල්ලට ගැටයක් දැමීමට නොදන්නාකම නිසා හුදු පැටලිල්ලක් පමණක් වී ඇතිකමිසය වරින් වර සකසන්නට වීම නිසා නැටීමට වඩා වැඩි කාලයක්  ඔහුට ගතවෙන්නේ සිය කමිසය ඉණෙන් ලිහී බිමට වැටීම වළක්වා ගන්නට දරන උත්සාහයට ය.
රැගෙන ගිය ආහාර බෙදා දීමෙන් පසුව මියුරු සංගීතය සමඟ ඒකාත්මික වූ ඔවුන්ගේ ඇස්වල සතුට උතුරා යයි. කතා කළ   හැකි අය අතර හොඳින් ගයන්නන් ද, නිවේදන කටයුතුවල විකුම් පාන්නන්ට ද අමතරව නිවැරදිව වාචික ප්‍රකාශනයේ   අපොහොසත් අය ද, ගී ගැයීමේ පෝලීමේ ය. ඔවුන්ට ද කීමට දේ ඇත. මේ සියල්ලෝ මයික්‍රපෝනය රැගෙන‘ හා හෝ ‘   කියමින් ඔවුන්ගේ ම රිද්මයට ගයන්නට ඉදිරිපත් වූහ.
වචන පිළිබඳ ගැටලුවක් නැත. රිද්මය ද ගැටලුවක් නැත. ධම්මිකගේ විදුලි ඕගනය මත ඒ අතට මේ අතට දිවෙන ඇඟිලි නිසා නික්මෙන හඩත් සමඟ ඔවුහු තමන්ට හැකි පරිදි නටති. මේවා කෙතරම් රසවත් වුව ද,හැඟුම්බර වුව ද, ආදරණීය වුව ද    සමාජයේ එවැනි පුළුල් හදවත් තවමත් අතැයි යන්න පසක් වන විට දෑසට නැවතත් කඳුළක් නැඟෙයි. වන් දරුවන් පමණක් නොව එවැනි දරුවන් සිටින මා-පියන්ද අවශේෂ කොට සලකා බැහැර කරන ඇස්වලින් මෙන් ම ක්‍රියාවන් ගෙන් ද බැට කා හොඳින් හුරු – පුරුදූ මම මේ මොහොත ගැන නැවත නැවතත් සිතුවෙමි.
ඔවුන් වැඩියෙන්ම ඉල්ලා සිටින්නේ මව් පිය ගුණ ගීත ය. ඒ මව්පියන් ගේ සෙනෙහසෙන් ඈත්ව සිටින නිසාම නොවන්නට ඇත. ඒ බොහෝ ආදරය ඇවැසි මොවුන්  මව්පියන් ලෙස ඒ ආදරය ලබා දෙන  මව්පියන් පිළිබඳ දක්වන ආදරය නිසා ද    විය හැකි ය. ඇතැමකුට ඒ ආදරය සිහිනයක් වන තරමට දෙගුරුන් මෙවැනි දරුවන් ඈත් කර දමන්නේ එය තමන්ගේ   අවාසනාව ලෙස ද, දරුවන් ඈත් කිරීමෙන් අවාසානාව ඈත් කර දැමිය හැකි සහ එයින් සැඟවිය හැකි යැයි යන අන්ධ සහ  අමානුෂික විශ්වාසය ද පදනම් කර ගෙන වන්නට ඇත. දෛවඥයන් විසින් ප්‍රධාන ධාරාවේ හැරුම් ලක්ෂයන් නිශ්චය කරන භූමියක මේවා පුදුමයට කරුණක් නොවුණ ද,මෙවැනි දරුවන් සම්බන්ධයෙන් දක්වන අපේ සමාජ දේශපාලනික ආකල්පය තවමත් පවතින්නේ නොදියුණු මට්ටමක බව පැහැදිලි කරුණකි.
මේ දරුවන්ගේ හැසිරීම් හෝ පෙනුමට වඩා වැදගත් වන්නේ ඔවුන්ට සාමාන්‍ය සමාජයෙන් ලැබෙන ආදරය සහ ඔවුන්   වෙනුවෙන් කරන කැපකිරීම් ය. අවාසනාවකට අඩුවෙන් ම ඇත්තේ ඒ හැඟීම් ය. එහෙත් එවැනි හැඟීම් ඇති පොකුරක් නෙළා ගන්නට හැකිවීම ගැන මට ඇත්තේ නිරාමිස සතුටකි. එහි ගිය අපි පොකුරම එකම හැඟුමක තෙරපෙමින් ඒ සියල්ල දෙස බලාගෙන හැඩුවෙමු. ඒ දෑසින් නොව හදවතිනි. ඔවුන්ට ලැබුණ අවස්ථාව පෙරුම් පුරා ලබා ගත්තක් සේ මට හැඟිණි. එතරම් සොම්නසට ආනන්දයට පත් මෑතකාලීන දිනක් මගේ මතකයේ නැත.
ඔවුහු රඟති. අයෙක් ගයන විට අනාරාධිතව ඊට අත්වැල් තබති. මේ සාමාන්‍යකරණය අධ්‍යාපනය ආශ්‍රයෙන් අත්සන් තැබුණු ‘සලමන්කා‘ වැනි ගිවිසුම්වලින් නොව මිනිස් හදවත්වල ඇති වන හැඟුම්වලින් ස්ථාපිත වූවා නම් මේ වෘත්තීය අධ්‍යාපනික වට පිටාවට පෙර මෙම දරුවන් බොහෝ දෙනකු සාමාන්‍ය පංති කාමරයේ බොහෝ දේ සපුරා අවසන් කර තිබෙන්නට බොහෝ ඉඩ කඩ තිබිණ.
වචනවලින් කියා ගන්නට බැරි තරම් ඒ හැඟීම පොහොසත් ය.  මේ සමඟ වන ඡායාරූප සමඟ මා විසි     කරන වදන්වලට වඩා හැඟීමක් ආදේශ කර ගන්නට ඔබට හැකි වනු ඇත. පිං ගැන කියන්නට මම වැඩි යමක්   නොදන්නෙමි. තවෙකකු වෙනුවෙන් යමක් කළ යුත්තේ ලැබිය යුතු ආනිශංස ගැන සිතා නොවන බව මගේ විශ්වාසය    වන්නේය.
‘මේක තමයි මචං හොඳම ෆන් එක‘   ජීවිතයේ ලද ඉහළම සතුට ලැබූ බවට මා මිතුරා සමන්ත ඒ පුතුන් ගේ ගෙල වටා අත්වැල් ලා ගෙන ආදරයෙන් වැලඳ    ගනිමින් පවසයි. මා සමාජයේ ආකර්ශනය සහ අවධානය යොමු නොවන දරුවන් සමඟ වැඩ කිරීම ජීවිතයේ සතුට කොට සිතා සිටින්නේ බොහෝ කල් සිට ය. ඒ පිරිස විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ම නොවේ. අවධානයෙන් බැහැර කර සිටින ඔවුන් ගේ හදවතින් මතු වන එක සිනා රැල්ලක් මහ වැස්සක සිසිල දනවමින් දාහයෙන් විඳවන ජීවිතය තෙමාලන්නට සමත් නෙවන්නේ යැයි කාට නම් කිව හැකිද?
මෙම ලිපිය සමඟ තවත් ඡායාරූප සදහා - http://thecolombopost.net/?p=45278

6 comments:

  1. මූණු පොතේ දැකල කලින්ම කතාව කියෙව්වා.. ජීවිතේ සමහරුන්ට අපි හිතනවට වඩා ගොඩාක් වේදනාවක්.. මේ කතාව ලියුවට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිත්‍රයා

      Delete
  2. උඹේ පොස්ට් කියවන්න හිතෙන්නේ නෑ බං. ඇත්තටම හරිම අමාරුයි කඳුළු හංගගෙන උඹ ලියන මේ කතා කියවන්න

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කදුළුත් එක්ක ජීවත් වෙන්න වුණාම මිනිස්සු දන්නවා ඒවා කොච්චර බරයිද කියලා.එහෙම හදවතින්ම කඳුළු තේරුම් ගත්තු අය තව ඇහැක කඳුළක් නැගෙන එක වළක්වන්න යම් යම් කැපකිරීම් මැදිහත් වීම් කරනවා...........

      Delete
  3. :(((( ඉවාන් අයියා කියපු දේ තමයි මටත් කියන්න තියෙන්නේ,, ඔයා ලියලා දාපු දවසෙම කියෙවුවා ,, කමෙන්ට් කලේ නැහැ ඇවිත්.. ඔයා අර පුස් පැටවුන්ට ආදරේ කරපු විදියෙන් හිතාගන්න පුළුවන් දරුවෙක් ඉස්සරහා ඔයාගේ ආදරේ තරම

    ReplyDelete
    Replies
    1. දරවො ඉන්න මිනිස්සු වගේම ප්‍රශ්න තියෙන දරුවො ඉන්න අය ඊටත් වඩා දන්නවා දරුවන් ගැන හැඟීම, සත්තුත් එහෙමයි කුවේණි උන්ටත් ආදරය ඕනි. මේ දෙගොල්ලන්ටම ඒක ඕනි විදිහ කියන්න ඉඩ නැහැ.අපි දෙන විදිහ හිතා ගන්න ඕනි. දරුවන්ට යමක් අපේ න්‍යායපත්‍රවලට යටත් කර දීල වැඩක් නැහැ. දරුවන්ගෙ සීමාවෙ දේවල් ලැබෙන්න ඕනී එයාලගෙ න්‍යාය පත්‍රය ඇතුළෙ.මාත් එක්ක වැඩ කරන්නෙ වැඩියම දෙමටගොඩ වනාතමුල්ල පැත්තෙ දරුවොනෙ.ඒ අයගෙ ළමා ක්‍රියාකාරකම් පවා ගොඩක් දුරට හකුලල තියෙන්නෙ.ඒ සමාජ ක්‍රමය විසින්. ඒත් ඒ අයට උගන්නද්දි ඒව මතු කරල ගන්න පුළුවන් වෙනවා. ඒ අයට ඕනෑ කරන ආදරය කෑම පෙට්ටිය කෑම වලින් පුරවන එක නෙමෙයි. හොඳම ඇඳුම් අන්දන එක නෙමෙයි. ඇහුං - කං දීම.සංවාදය. ඔවුන්ගේ දේවල් ඇගයීම.පුළුවන් කියන හැඟිම ඇති කිරීම.තියෙන දේ මදි කියන හැඟිම වෙනුවට ඒකෙන් ලොකු වැඩ කරන්න පුළුවන් කියල පෙන්නන එක. ඒක අමාරු දෙයක්.මේ අයව විදින්න අමාරුයි.විශේෂයෙන් මේ ඉන්න දරුවන්ගෙ ක්‍රියාකාරකම් ඉවසන්න.සමහරු ඉවරයක් නැතිව කියන එකම කතාව නැවුම් දෙයක් විදිහට අහගෙන ඉන්න ඕනි. ඒ ඔස්සෙ අලුත් ප්‍රශ්න හදාගෙන සාකච්ඡා කරන්න ඕනි.

      Delete