Sunday, November 11, 2018

නහය පරිස්සම් කර ගන්න


                                 

මේ මහින්ද රාජපක්ෂ කණ්ඩායම දරුවන් වෙනුවෙන් වගකීමෙන් වැඩ කළ අවස්ථාවක දර්ශන පෙළකි. කෑ ගහන දරුවා ඉන්නේ එතුමාගේ පුතාගේ පිටේය.ඒ පුතාට ඒ තාත්තා දුන් නිදහස අනුව මේක නිවැරදි වන්නත්,ඒ පුතාලා තාත්තාලා කියන ඕනෑම දෙයක් දෙවි හිමියෙන් අදහන අයට මේක දේවකාරියක් වන්නටත් හැකි බව මම දනිමි.
මේ පළමු එක නොවේය.දෙවැන්නය.මීට ප්‍රථම ඔවුන් ජනාධිපතිවරණයේදි පොඩි දරුවෙක් යොදා ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දොර හිලට ඇහැ තැබුවේය.ඊට එරෙහිව කතා කළ පිරිස අතර මුල් තැන සිටි රනිල් වික්‍රමසිංහගේ දොර හිලට ඇහැ තබමින් ජනාධිපතිවරයා තමන්ගේ දොර හිලට ඇහැ තැබූ එකා දැන් බලවත් පුද්ගලයෙක් කර ඇත.ස්වාධින රූපවාහිණියේ නිසි බලධාරියා සේ හැසිරෙන්නට බලය දි ඇත.
පළිගන්නට කොන් කරන්නට යෝජනා නොකළද,සදාචාරමය වශයෙන් වෙනසකට බඳුන් වූ බව නොපෙනෙන ක්‍රමයකට ආශිර්වාද කරන්නට ජනාධිපතිවරයා ක්‍රියාත්මක වී ඇති බව සිදුවීම් වලින් පැහැදිලි වෙමින් තිබේ.එහි විපාක විඳින්නට වන්නේ සමස්ත රට වැසියාටමය.
මීට හේතුවන්නට ඇත්තේ කුමක්ද යන්න ජනාධිපතිවරයා පැහැදිළි කළේය.ඒ පැහැදිළි කිරීම පුරාම තිබුණේ තමන්ට රනිල් නො'දිරවන බවමෙීට වසර තුනකට පෙර රනිල්ගේ දේශපාලනය ගැන මහත් අභිමානයෙන් ඔහු කතා ක‍ළේය.ඒ කරුණුම ඔහුගේ හීනමානයට ඔරොත්තු නොදෙන බව දැන් කතාවලින් මෛත්‍රීපාල සිරිසේන පැහැදිළි කරමින් සිටින්නේය.ඒ වෙනුවෙන් තමන්ට ලැබි ඇති බලය රටට,ජනතාවට පමණක් නොව වසර හතළිහක් තමා වටිනා මිනිසෙකු බවට පත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද හානි කරන්නට යොදා ගන්නට ඔහු පසුබට නොවන බව මේ වන විට ඒත්තු ගන්වමින් සිටින්නේය.
ජනාධිපති පුටුව දිනා ගත් සැනින් ඔහු වටා එකතු වූ රට වෙනුවට පක්ෂය වැදගත් කර ගන්නට සිරිසේන  ගත් පියවරේ සිට ඔහුගේ බල උන්මාදය වෙනම ආකාරයකට කියවිය යුතුව තිබේ.ජනාධිපති වීමෙන් පසුව ඔහුට පක්ෂයේ බලය අවශ්‍යය විය.ඒ සඳහා ඔහු ජනාධිපතිකම පාවිච්චි කළේය.
අනතුරුව පැවති මැතිවරණයේදි තමා වේදිකාවේ සිට දැඩි ලෙස විවේචනය කළ මහින්ද ඇතුළු සියලු පිරිසට ඔහු නාම යෝජනා දුන්නේ තමන්ව බලයට පත් කළේ බහුතර එක්සත් ජාතික පක්ෂය බැවින් මහින්දගේ ලක්ෂ 58 න් තමන්ට බලයක් ලබා ගැනිමටය.ඒ නිසා ඔහු සමග පැමිණි සමහර අපේක්ෂකයන්ට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ලබා ගැනිමට අවස්ථාව දෙමින් මහින්දගේ පිරිසට අපේක්ෂකත්වය ලබා දීමට ඔහු කටයුතු කළේය.මහින්ද රාජපක්ෂ පෙරටු කර ගනිමින් දේශපාලනය කළ පිරිසට වැඩි බලයක් හිමි වෙද්දි ඒ මොහොතේත් මෛත්‍රීපාල සිරිසේන මූලික කර ගනිමින් දේශපාලනය කළ පිරිස පැත්තකට විසි විය.
අනතුරුව ආණ්ඩුව කරගෙන යාමට තමන්ගේ පක්ෂයේ සුළු පිරිසක් එකතු කරගෙන එක්සත් ජාතික පක්ෂයට සහය දුන්නද පාර්ලිමේන්තුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසගේ නායකයා යන උද්දාමය කිසිවිට මෛත්‍රීපාල සිරිසේනගේ හිතෙන් බැහැර වූයේ නැත.ඒ නිසා තමන්ගේ පක්ෂයේ පිරිස් නිතර නිතර අල්ලස් හා දූෂණ කොමිසම් සභාව තුළට කැදවමින් කටයුතු කළ දිල්රුක්ෂි වික්‍රමසිංහ කෙරෙහි මෛත්‍රීපාල සිරිසේනගේ කැමැත්තක් තිබුණේ නැත.ඒ අනුව ඇයට එහි මුල් පුටුව අහිමි විය.
දිගින් දිගටම තමන් සමඟ සිටින මහින්ද රාජපක්ෂගේ දිවෙන් කතා කරන පිරිස් ආණ්ඩුවේ සාමූහිකත්වය නොතකා රනිල් වික්‍රමසිංහ මෙන්ම එක්සත් ජාතික පක්ෂයද විවේචනයට ලක් කළේය.ඊට පිළිතුරු දෙමින් මෛත්‍රිපාල සිරිසේන සහ ආණ්ඩුවේ අනෙක් පාර්ශවය විවේචනය කරන්නට රනිල් වික්‍රමසිංහ කටයුතු කළේ නැත.එසේ කරන අයටද අවවාද කළේය.නායකයෙක් ලෙස එහිදි රනිල්ට තිබුණු පාලනය මෛත්‍රීට නොතිබුණේ ද,නැතිනම් මෛත්‍රීපාල සිරිසේනයන් ඒ සියල්ල දැන දැන ඔහුගේ ආශිර්වාදය ඇතුව සිදු වූ දේ ද යන්න දැන් පැහැදිළි වෙමින් තිබෙන්නේය.
මේ සියල්ල සිදු වෙද්දි රජය කරන දේ සඳහා දැඩි විරෝධයක් එල්ල වූ සෑම අවස්ථාවකම ඒ විරෝධය සඳහා නිදහස් පොළවක් සැකසි තිබිණ.ඒ 2015 ලැබූ නිදහසේ කොටසකි.පැවති රජයේ නඩු ගොඩ ගැහෙද්දි පවතින රජයේ වැරදිවලට නිතිය ක්‍රියාත්මක වෙමින් අත් අඩංගුවට ගැනිම් ආදිය සිදු වෙමින් පවතින්නේය.බැදුම්කර සිද්ධියට අදාළව එක දිගට අර්ජුන ඇලෝෂියස් සහ කසුන් පළිහේන බන්ධනාගාරයේ සිටිම ඊට එක් උදාහරණයකි.ඒ වගේම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාද අල්ලස් ගැනිමේදි අත් අඩංගුවට පත් විය.ඒ නඩුවද විබාග වෙමින් පවතින්නේය.
මේ සිදුවීම් දෙකේදී ආණ්ඩුවේ එකඟතාවයන් සහ සදාචාරයන් කදිමට පැහැදිළි විය.බැඳුම්කරයට එජාපය දෙසට ඇඟිල්ල දිගු කර කරන චෝදනාවලට ශ්‍රී ලංකා නිදිහස් පක්ෂයේ පිරිසට තිබූ නිදහස රනිල් වික්‍රමසිංහගෙන් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට චෝදනා කරන්නට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන්ට අවස්ථාව නොලැබිණ.අදටද එය එසේමය.එය නිතිමය තත්ත්වයෙන් විසඳෙන්නට ඉඩ හැර සිටිම විනා රනිල් එය මෛත්‍රිපාලට පහර එල්ල කරන්නට කාරණයක් බවට අද වන තුරුම පත් කරගෙන නැත.
නමුත් මේ මොහොතේ වැදගත් රනිල් නොවේය.ඇති වී තිබෙන තත්ත්වයට වඩා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව විශ්වාසය තැබිය හැකි පිරිසක්ය.2015 දි එවැනි රැල්ලකින් පිහිට වූ ආණ්ඩුව ජනතා සිතුම් පැතුම් ලෙස පෞද්ගලික අවශ්‍යයතාවන් යම යම් අයගේ සපුරන්නට නැත.නමුත් දැනටමත් මේ දින කිහිපය තුළ විඳි අත්දැකිම්වලට වඩා යහපත් නිදහසක් අත් වින්දෙමු.
ඕනෑම දෙයක් කියන හැඩයෙන්ම දැක් එය වර්ණනා කරන වන්දිබට්ටයෙකුට වඩා වැඩි දෙයක් කරන්නට මාධ්‍යයට අවස්ථාව ලැබිණ.රජයේ හොරණෑ බවට පත් වීම වෙනුවට රජයට ප්‍රහාර එල්ල කරන්නට තමන්ට ලැබුණු නිදහස උපරිම ලෙස භාවිතා කළ මාධ්‍ය අවම තරමේ මීට වසර දෙකකට පෙර ආණ්ඩුවට එරෙහිව වැඩ කරන්නට තමන්ට නොතිබි නිදහස නිර්මාණය කිරීම වෙනුවෙන් හෝ සාධරණයක් රජය වෙනුවෙන් කරන්නට ඉදිරිපත් නොවීය.
සැබවින්ම එය මාධ්‍යකරුවා යටත් කරගෙන සිටින හිමිකරුවාගේ සපත්තුවේ බලය මිස ඔහුගේ හෘදය සාක්ෂිය නොවන බව සහතිකය.මේ මොහොතේ එවැනිම හෘද සාක්ෂීන් වසාගෙන ජීවත්වීමේ අරගලයට මුහුණ දෙන විශාල පිරිසක් සිටියි.ඔවුන්ට ජීවත්ීම අතහැර ජීවනෝපිය අතහැරි අරගල කරන්නට යැයි අභියෝගයකට ආරාධනා කරන්නට මේ ආර්ථික සමාජ වටපිටාව තුළ ඉඩක් ලබා දි නැත.ඒ නිසා මේ කතා කරන්නේ ඔවුන්මද ඔවුන්ගේ ජීවත්වීමේ අපේක්ෂාවන්ද යන උභතෝකොිටිකය තුළ හිද සුබවාදිව ඔවුන් දෙස බලා සිටින්නට සිදු වි ඇත.
එකතුවීම යනු සාමාන්‍යයෙන් ඡන්දයක් ආසන්නයේ ලංකා ඉතිහාසය පුරාම සිදු වි අති දෙයකි.එම සිදුවීම 2016 වෙනදාට වඩා බරපතල මැදිහත්වීමක් සහිතව ක්‍රියාත්මක විය.එ මැදිහත්වීම නිසා ඒ දක්වා නොදුට සහ නොවිඳි නිදහසක වසර තුනක කාලයක් ගෙවා දමන්නට ලැබිණ.පාක්ෂිකව සිටියේ වුව ද හෘද්‍ය සාක්ෂියට නොදැනෙන දෙයකට වැරදි යැයි කියන්නට බය නැති පාලනයක කොටස්කරුවෝ වන්නට පුරවැසියන්ට අවස්ථාව ලැබිණ.අද ද එයට දායකවීම සම්බන්ධයෙන් මට ඇත්තේ  සොම්නසකි.
නමුත් ඒ බලවේග ජයග්‍රහණය දේශපාලන පක්ෂ නියෝජිතයන්ට භාර දි පල්ලම් බැස්සේය.අපේක්ෂා කළ වෙනස වෙනුවෙන් රජය ගෙන යාම සඳහා සුක්කානමට අත තබන්නට ඔවුන් පසුබැසීම සමහර විට ඔවුන් දේශපාලනඥයන් ලෙස හංවඩු ගැසිමට අකමැත්ත නිසා සිදු කළ එකක් විය හැකිය.
අවසානයේ නිදහස පමණක් විඳි රටක එයද එක රැයකින් පැහැර ගන්නට අශුද්ධ බලවේගවලට හැකි වි ඇත.දැන් ඇත්තේ 2015 දුටු රටය.අවිනිශ්චිත භාවය සහිතව වැඩ කිරීම,බිමට කළුවර වැටෙන විට ගෙදරින් දුරකථන ඇමතුම් දෙමින් නිරන්තර විමසීම දක්වා තව නොබෝ දිනකින් මේ තත්ත්වයන් අපේ ජීවිතවලට එබි බය සමඟ ජීවත්වීමේ අප්‍රසන්න අත්දැකීම ඉතිරි කරනවා ඇත.ඒ ක්‍රමය තුළ වචනයකින් හෝ පාලනයට නතු නොවන මොහොතක අත්විය හැකි ඉරණම තවමත් වන්දිබට්ටයන් වීම මහත් ගෞරවයෙන් සමරන කිසිවෙකුට නොදැණෙනු ඇත.
විශේෂයෙන් ඊ ළඟ පරම්පරාවට නිදහසේ අදහස් දැරීම වෙනුවට පාලන යාන්ත්‍රණය තුළ දනින් වැටි හෝ තුන්වේල කා ගේ දොරක්  හදාගෙන ඉදපං කියා උපදෙස් දෙන මව් පියන්ට හැරෙන්නට මේ තත්ත්වයට එකඟ වීම කළ නොහැකිය.ඒ නිසා වහලෙක් වුණත් කම් නැහැ යස ඉසුරු ලැබ කියන උපදේශනය සිය දරුවන්ට දීමට හිත එකඟ කරවාගත් මව් පියන්ට නොදැණෙන ඇත්ත ඊට වඩා වෙනස්ය.
මේ අනාගතයට බලපාන පූර්වාදර්ශයක්ය.මේ තත්ත්වය නිත්‍යාණුකූලව සාධාරණ කර ගැනීම සඳහා බලය යොදා ක්‍රියාත්මක විය හැකිනම් ඊට පසුව එන පරිච්ඡේදයේදි එම සියලු කාරනා එක්සත් ජාතික පක්ෂයටද මේ රටේ අනෙකුත් දේශපාලන පක්ෂයන්ට ද අදාළය.ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදිව ජනතාවට හිමි බලය ඕනෑම වේලාවක දූෂණයට ලක් විය හැකි අනාගතයකට මෙමඟින් පාර කැපෙනු ඇත.එය අපේ මතු පරපුරට අපි උරුම කරදෙන දෙයක්ය.
මුත්තාගේ හිටවන අඹ ඇටය ගැන කියවා කප් රුක කපා ලිවලට විකුණන පිරිසකගේ අනුගාමිකයන් ලෙස හැඳුණු වැඩුණු අපිට මේ මොහොත වැදගත් කප්රුක පැල කරන්නට නොවේය.අඩුම තරමෙන් මුත්තාගේ වගකීමවත් ඉටු කර තැබීමට කල්පනා කළ යුතුය.ඒ නිසා මෛත්‍රීපාලගේ හීනමානයට සහ මහින්දගේ බල උන්මාදයට එරෙහිව පොදු සන්ධානයක් නිර්මාණය කිරීමේදි කතිරයට වඩා දායකත්වයක් දැරීම යනු දරුවන් වෙනුවෙන් කරන කැපවීමකි.සදාචාරසම්පන්න බව නිදහසවත් අඩුම තරමේ දායාද කර දෙන්නට දරුවන් වෙනුවෙන් කල්පනා කරන අයෙක් ඔබේ දරුවා කරමත තබා ගෙන මෙහි ඉහළ ඇති සටන් පාඨ කියවන්නට පොළඹවන පිරිසකට සහ ඊට අනුබල දෙන නායකයෙකුට කැමතිද අකමැතිද යන්න තීරණය කර බැලිය යුතුය.
අම්මාගේ අනුබලය ඇතිව හොරකමට ඇබ්බැහි වූ පුතෙක් හිර ගෙදර සිටියදි අම්මාව ඉඹින්නට අවශ්‍යය බව කියා කූඩුවෙන් මුහුණ ඔබා අම්මාගේ නහය කඩාගෙන කෑ කතාවක් අප අසා ඇත.ඒ නිවැරදි උපදේශනයන් දෙමින් තමන්ට හරි වැරද්ද පෙන්වා දෙන්නට අම්මා කටයුතු නොකළ බැවින් තමන්ට අත් වූ ඉරණම ගැන පුතා විරෝධය පළ කළ හැටිය.
නහය පරිස්සම් කරගන්නා අම්මෙක්,තාත්තෙක් වීමට අප සිතිය යුතුව ඇත.



No comments:

Post a Comment