Thursday, November 15, 2018

යුතුකම


තමන් කාට පක්ෂ වන්නේද යන්න අදාළ නැත.ඊයේ පාර්ලිමේන්තුවේ අප පත් කර යවන නියෝජිතයා කුමන ආකාරයේ පුද්ගලයෙක්ද යන්න ඔවුන් රටටම පේන්නට පෙන්නා දුන්නේය.ආයුධ අරං ආ අය මෙන්ම අපේ වියදමින් නඩත්තු කරන පාර්ලිමේන්තුවේ දේපළවලට හානි කළ අය ද,එම ආයතනයේ ගෞරවය කෙළෙසමින් හැසිරුණ අය ද හොඳින්ම හදුනාගන්නට හැකි ලෙස දර්ශන සමාජ ගත වී අවසන්ය.
මේ මොහොතේ දේශපාලනය යනු එසේ අපේ නියෝජිතයන් ලෙස උත්තරිතර තත්ත්වයක් ලබා දීමට නුසුදුසු සියලු දෙනා සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කිරීම විනා තෝරා බේරාගෙන සිය පක්ෂයේ එකාට මහා වටිනාකමක් ලැබෙන අන්දමේ ප්‍රචාරයන් කිරීම මේ මොහොතේ හෝ නවතා දැමිය යුතුය.අඩුම තරමේ වරද වරදක් හැටියට කියන්නට තමන්ගේ පාක්ෂිකත්වයේ ලේ කැක්කුමක් ඇත්නම් පුරවැසියෙක් හැටියට පක්ෂයට එහා ගිය රට ගැන හැඟිමෙන් කිසිවක් නොකියා සිටීමට හෝ ක්‍රියා කළ යුතුය.
නමුත් තකට තක ලෙස දේශපාලනඥයා හැසිරෙන්නේ සිය පාක්ෂිකයාගේ තරාතිරමට අනුව බව පෙන්වමින් මේ මොහොතේ බොහෝ අය තමන්ගේ පක්ෂයේ මහජන නියෝජිතයාගේ අවනිතික හැසිරීම්වලට වීරත්වය ආරෝපනය කරමින් සිටින්නේය.
මේ කාරණා ලංකාවේ ආගමික සංස්ථාවටද අදාළය.රටම රූපවාහිණි තිර ඉදිරියේ බලා සිටි සිදුවීමෙන් සිදු වූ දේවල් පැහැදිලිව දැක ගන්නට තිබියදී එවැනි හැසිරීම් කළ අයට ආශිර්වාද කරමින් සහ සාමාන්‍ය පාක්ෂිකත්වය ප්‍රදර්ශනය කරමින් ව්‍යාජ කරුණු වැපිරිමට නොයාම ආගමට ගරු කොට වන්දනාමාන කරන පාට පක්ෂ නොවන සියලු බැතිමතුන් වෙනුවෙන් කරන යුතුකමකි.බෙදෙන දානයේ හෝ පිදෙන පූජාවේ තිබෙන භෞතික වටිනාකම් කිසිවක් භක්තිය මිස පාට දේශපාලනය නොවන බව අපේ ආගමික නායකයන් තෝරා බේරාගත යුතු මොහොතට එළැඹ සිටින්නේය.
තමන් විශ්වාස කරන දර්ශනය සහ ආගමික නැමියාවන් වෙනුවෙන් පෙනී සිටීම ආගමික නායකයෙකුටත් අදාළ බව පිළිගත යුතුය.එහෙත් එහි මිත්‍යාව නොතිබිය යුතුය.
ඒ නිසා මේ රූපවාහිණි දර්ශන රට පුරා ප්‍රදර්ශනය කිරිමට දේශපාලන පක්ෂවලට අදාළ නොවන නිර්පාක්ෂික එකතුවීමක් අවශ්‍යය වි ඇත.එය දේශපාලන පක්ෂ නියෝජනය කළ ද තමන්ගේ නියෝජිතයා ගෞවරණීය පුද්ගලයෙක් විය යුතුය යන හැඟීම ඇති පිරිසක් විසින් සංවිධානාත්මකව සිදු කළ යුතුව ඇති බව මගේ හැඟීමය.
තමන්ගේ නියෝජිතයා දරුවන් බය කරන්නට යොදා ගත හැකි යක්ෂයෙකුගේ හැඩය ගන්නවාද,සැබවින්ම තමන්ගේ දරුවන්ට ලැජ්ජාවක් නැතිව මහත්මයා යැයි ආමන්ත්‍රණය කළ හැකි මහජන නියෝජිතයෙක් අනාගතයේදී තෝරා ගන්නට අවශ්‍යය පදනම සහ පසුබිම සකස් කරනවාද යන්න එතැන් සිට පොදු මහජනතාව තිරණය කරනු ඇත.
හිරේට යන විට මාංචුවලින් බැඳුණු දෑත් ඉහළට ඔසවන්නාට එල්ල වි ඇති චෝදනාව රටේ දේශපාලනයට අදාළ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ කාරණයක්නම් ඔහු ඇගයීම සහ ඔහුට ගරු කිරීම ගැටළුවක් නොවේය.නමුත් ඔහුට ඇති චෝදනාව දූෂණයක්නම්,වංචාවක්නම්,සාපරාධි ක්‍රියාවක්නම් ඒත් ඔහු වීරයෙක් කොට සළකමින් පිදුම් දෙන්නෝ ගරු කරන්නෝ තමන්ගේ දරුවන් වෙනුවෙන් ඉතිරි කරන්නේ චෞර රාජ්‍යයක අභිමානය ය.
හොරෙකුට,පිස්සෙකුට කෙටියෙන් කිවහොත් අමනයෙකුට තමන්ගේ දරුවාගේ නායකත්වය ලැබෙන ආකාරයට රට සැකසිම තමන්ගේ යුතුකම සහ වගකීම ද යන්න සිතා බැලීමට විවෘත වේදිකාවක් මේ මොහොතේ සමාජය තුළ සකස් වී තිබෙන්නේය.
හුණුවටයේ රාජ්‍ය පාලනයේ නඩුකාරයාට වඩා අසඩක් සාධාරණ විය.සම්ප්‍රදායික නීතිය මත පදනම්ව ගෙනෙන තාර්කික කරුණු සාධාරණය නොවිය හැකි බව ද එයින් හැඟවෙන්නේය.හෘද සාක්ෂිය ඇති මිනිසුන් ලෙස රටේ සමස්ත සිදුවීම් දෙස අපි මෙහිදි විමසිලිමතු විය යුත්තේ එබැවින්ය.ඒ විමසිලිමත් බව අපට මහත්මයා යැයි කිව හැකි සාධනීය කරුණු සහිත මහත්මයෙක් අපේ නියෝජිතයා ලෙස තෝරා පත් කර ගන්නට පාර පෙන්නවා ඇත.එය අඩුම තරමේ සාපේක්ෂව සමාජයට ධනාත්මක ප්‍රවේශයක් ලබා දිය හැකි කාරණා විශාල ප්‍රමානයක් සහිත පුද්ගලයෙකුගේ තේරිමක් වනු ඇත.
ඒ නිසා මේ අර්බූදයේ මුලට අප පැමිණිය යුතුය.එහිදි අර්බූදය නිර්මාණය කිරීමේ වගකිම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් වෙන කිසිවෙක්ට පැවරිය නොහැකිය.ඔහු කළ හැකි බොහෝ දේ තිබියදී සාමූහික කතා බහකට නොගොස්,ජනවරමට පිටු පා මෙම තීරණය එළැඹීම මෙයට හේතුවය.ජනවරම යනු ලක්ෂ 62 ජනවරම පමණක් නොවේය.පාර්ලිමේන්තුවේ සෑම නියෝජිතයෙක්ම එම අසුන්වල අසුන් ගෙන සිටින්නේ මේ රටේ ජනතාව විසින් ගනු ලැබූ තීරණයකට අනුකූලවය.ඒ නිසා ඒ සියල්ල සමඟ සාකච්ඡා නොකිරිම යනු ජනතා කැමැත්තට පිටු පෑමය.එහිදි මා කැමති පක්ෂය හෝ පුද්ගලයා යන්න නොසළකා මා කැමති පුද්ගලයා නායකත්වය ගෙන ඒමට ප්‍රජාතන්ත්‍රවාදී සහ ජනසම්මතවාදි ක්‍රමය සොයා නොගැනීම ගැන සමාජයේ ඉදිරි පැවත්ම වෙනුවෙන් කල්පනා කිරීම අපේ යුතුකම විය යුතුය.
අවාසනාවකට මේ වන විට ජනමාධ්‍ය පවා පාර්ශවිකව කටයුතු කරන තත්ත්වයකදි පුරවැසියාට කිසිම ආකාරයකින් සාධාරණව තොරතුරු ලබා ගැනීමට තිබෙන ඉඩ ඇහිරි තිබීම වැරදි පූර්වා දර්ශයක් වන්නේ අදටත් වඩා හෙටටය.
වැව් බැම්මේ කුඩා ඉරි තැලීම නොසළකා සිටින අපට සිදුවන්නේ කෙදිනක හෝ එය කැඩි එන මහා ජල ප්‍රවාහයේ ගොදුරු වන්නටය.දරුවන් ඇති දරුවන් තැනිමට බලාපොරොත්තු වන සියලු දෙනා මේ මොහොතේ සිතාගත යුතු වන්නේ මේ බැම්ම බිදි එන මහා සැඩ පහරේ අපේ දරුවන් ගසාගෙන යන්නට ඇති බරපතල අවදානමක් ඇති බවය.
මේ ඇති වූ තත්ත්වය තුළ දැන් පාර්ලිමේන්තුව රැස්විමට වඩා මහමැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් අවශ්‍යය බව පැහැදිළිය.දෙකම එකවර පවත්වන්නට ඇති හැකියාව සැළකිල්ලට ගෙන ජනතා මුදල් පාර්ලිමේන්තුවේ මේ ආකාරයෙන් හැසිරෙන බහුතරයක් තෝරා එවීමට අපේ මුදල් නාස්ති කිරිමට ඇති ඉඩ වැළකීමට ද මැතිවරණ කොමිසමට නෛතික හැකියාවක් ඇත්නම් එයද අවධානයට ගත යුතුය.
නමුත් ප්‍රශ්නය පැන නැඟුණු තැන සිදු වූ අසාධාරණය නිවැරදි විය යුතුය.පාර්ලිමේන්තුවේ බහුතරයට ආණ්ඩුව භාර දිය යුතුය.එසේ භාර ගැනීමෙන් ඉදිරි සුළු කාලය තුළ මේ රටට වැඩක් කිරිමට හැකි ඉඩක් විධායකය සහ ව්‍යවස්ථාදායකයා තුළ තිබෙන කඹ ඇදිම සමඟ මෙන්ම දෙකට බෙදී සිටින ජනතා නැඟි සිටීම් සමඟ ද කරන්නට යාම මහා සැඩ පහරක් තරණය කරගන්නට කෙසෙල් කොට ඔරුවක් යොදා ගැනීමක් වනු ඇත.ඒ නිසා ජයග්‍රහණය කවරෙකුට හිමි වුව ද කම් නැත.පාර්ලිමේන්තුවේ යුක්තිය අනුව බලය හිමිවන පාර්ශවය පාර්ලිමේන්තුවේ 2/3 බලයක් සහිතව ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවන්නට යැයි ඉල්ලිමක් කළ යුතුය.
ඒ මේ රට අපේ දරුවන්ට අපට වඩා හොඳ රටක් ලෙස ඉතුරු කිරීම අපේ යුතුකම වන බැවිනි.

No comments:

Post a Comment