Tuesday, May 6, 2014

ගුරු පාර සරසන්න. . .


අද දවස තල්ලු වෙමින් තිබෙන්නෙ ආර්ථික අවශ්‍යයතාවයන් සමග පොර බදන්නටය.ගුරුවරයාටද මේ තත්ත්වය පොදුය.එහෙත් මේ කඩා වැටෙන ලෝකයට හෙට මේ ගුරුවරයාගෙ ළමයාද පා තැබිය යුතුය.එවිට සල්ලි වලින් පමණක් ඒ දරුවාට ලබා දෙන අවශ්‍යයතාවයන් තුළින් යහපත් ලෝකයක් තැනෙනු ඇතැයි සාමාන්‍යයෙන් බහුතරයක් දෙමව්පියන් සිතානාකාරයෙන්ම ගුරුවරු ද සිත්නනේය. එහෙත් අපේ දරුවා ඉගෙන ගැනීමෙන් අනතුරුව පා තබන සමාජය යහපත් එකක් විය යුතු බව සිතන්නන් හිගය.සමාජයට අවශ්‍යය එවැනි මව්- පියන්ය.
කුඩු,ගංජා මෙන්ම ස්ත්‍රී දූෂණ මංකොල්ල මේ සමාජයේ ආදර්ශයට ගැනීමට විවර වූ ඉඩ-කඩ වැඩිය.එවැනි පරිසරයක ජීවත්වන දරුවන් වෙනස් කිරීම දුෂ්කරය.නමුත් ඒ දුෂ්කරතාවය ජය ගැනීම අත හැරීමට ගුරුවරයෙක් කල්පනා කරන්නේ නම් ඊ ළග තත්පරයේ ඔවුන්ට සිය දරුවන්ව යොමන්නට වන්නේ අදටත් වඩා අනාරක්ෂිත සමාජයකටය.
පාසලේ පංතියේ පොත පත වැඩ නොකිරීම නිසා හෝ දෙනු ලබන අධ්‍යාපන වැඩ වැරදීම නිසා දරුවාට තලා පෙලා සැකසිය හැකි සමාජයක් අද නැති බව තේරුම් ගැනීම වැදගත්ය.ඒ අධ්‍යාපනික අතපසුවීම් වල නිමිත්ත පිටුපස බොහෝ විට ඇත්තේ ඓතිහාසික ඛේදවාචකය.දරුවාගේ මව්පියන් අකුරු නොදත්තෝ වීමේ අපරාධයට දරුවන්ට දඩුවම් විදින්නට වන අවස්ථා මම අගනුවර පශළ මධ්‍යම පාංතික දරුවන් වෙසෙන පාසල් වලදි බොහෝ විට දැක ඇත්තෙමි.
ඒ දරුවන් අධ්‍යාපනය සදහා ආකර්ශනය කර ගැනීමේ පරිසරයක් නිවස තුළ තිබිය නොහැකිය.ඒබව තේරුම් ගෙන පංතියෙ නියමිත විෂය ධාරාවන්ගෙන් පරිභාහිර කටයුතු හරහා දරුවාට පාසල ආකර්ශණිය තැනක් කිරීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීමට ගුරුවරයා උත්සාහ ගත යුතුය.වඩා නිර්මාණශීලි පරිසරයක දරුවාගේ භාහිර ක්‍රියාකාරකම් ඇගයෙන ආකාරයේ අධ්‍යාපනික වට පිටාවකට යාම මෙවැනි පරිසරයන්හී ගුරුවරුන්ගේ කාර්යය විය යුතුය.
මේ තත්ත්වය ජය ගැනීමට එරෙහි ප්‍රදාන බාධක දෙකක් පහසුවෙන් හදුනා ගැනීමට හැකිය.ඉන් පළමු වැන්න එවැනි ඕනෑ කමක් සහ හැගීමක් නැති කමය.දෙවැන්න අධයාපන නිලධාරින් සතුටු කිරීම පිණිස විෂය නිර්දේශය ආවරණය නොකර තිබීම ගුරුවරයා රාජකාරි පැහැර හැරීමක් බවට පත් වීමට ඇති ඉඩය.
උදාහරණයකට අද සැම පාසලකම පාහේ ක්‍රියාත්මක වන ක්‍රීඩා හා ශාරිරික අධ්‍යාපන විෂය නිර්දේශය ආවරණය කිරීම අතපසු කරන ගුරුවරයා අතින් ඒ පාසලට පළාතට සහ රටට ජයග්‍රහණ ගෙන එන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් බිහි වන්නේය.බැලූ බැල්මට මෙවැනි ක්‍රීඩා ගුරුවරයෙක්ට වරප්‍රසාද හිමිවිය යුතු වුවත් ඔහුගේ ගුරු අත්පොතට අනුව ඔහු විෂය නිර්දේශය සපුරා නැත්නම් වන්නේ නිදහසට කරුණු සපයන්නට සිදු වීමය.  
එසේම අද ගුරු වෘත්තිය ඉලක්ක කර ගන්නන් ඒ සදහා යොමුවන සාධක කිහිපයක් ගුරු වෘත්තීයේ ගුනාත්මක භාවය සම්බන්ධයෙන් කිසිසේත් අදාළ නොවන බව ද සැළකිල්ල යොමු කළ යුතුය.පළමුවෙන්ම එය නිදහස් වෘත්තියක් ලෙස අනෙක් වෘත්තීන් අභිබවා සිටින බව තේරුම් ගැනීමය.ඊට හේතු වන්නේ අනෙක් සේවා හා සසදද්දී දවසින් වැඩි කාලයක් සේවයෙන් බැහැරව සිටීමට ලැබෙන නිල ඉඩ-කඩය.නිවාඩු වැඩි වෘත්තියක් ලෙස ගුරු වෘත්තීයට ලැබෙන විශේෂ වරප්‍රසාදය ය.එසේම මෙම ඉතිරි කාලය පුද්ගලික පංතියක් කිරිමට යොමු වීමට ඇති ඉඩ සහ නිල ගුරුවරයෙක් නිසා එයින් ලැබෙන පිළිගැනීම ද මෙහිදී සැළකිල්ලට ගත හැකිය.ඒ නිසා ගුරු වෘත්තියට වැටුප් කිහිපයක් ඉපයිය හැකි පසුබිමක් නිර්මාණය විම මෙහිදී සැළකිල්ලට බදුන් වන්නේය.
ගුරුවෘත්තිය මත සමස්ත රටේම අනාගතය රැදී තිබෙන බව වටහා ගැනීමකින් යුතුව එම වෘත්තීයේ නිරත වන්නන් ඇත්තේ අතේ ඇගිල ගණනටත් අඩුවෙන්ය.එසේම පවතින සමාජ වටපිටාව අනුව බොහෝ දරුවන් මව්වරුන්ගේ පියවරුන්ගේ තුරුළේ ගෙවන කාලයට වඩා වැඩි කාලයක් ගුරුවරයා හා ගෙවන බව තේරුම් ගෙන දරුවාගේ ඉදිරි දැක්ම සැකසීම තමා සතු වගකීමක් වී තිබෙන බව තේරුම් ගෙන සිටින ගුරුවරු සිටින්නේ ද අතළොස්සකි.
විශේෂයෙන්ම කොළඹ වටපිටාවේ දරුවන්ගේ දහවල් කාලය ගෙවෙන්නේ දිවා සුරැකුම් මධයස්ථාන ආශ්‍රිතව බව බොහෝ විට සත්‍යයකි.එසේත් නැතිනම් මව්-පිය සෙනෙහස පාසලෙන් පසුව මේ දරුවන්ට විදින්නට ලැබෙන්නේ පස්වරු 6 - 7 වන විටය.මේ ආර්ථික රටාවේ ස්වභාවය අනුව අත් විදින්නට වන දේ ය.ගම්වල මේ තත්ත්වය අඩු වුව ද පෙරට වඩා ඉතා ඉහළය.ඒ නිසාම ගුරුවරයා සහ ළමයා අතර පරතරය වඩා සමීප විය යුතු තත්ත්වයකට පත්ව ඇත.කොළඹ ප්‍රදේශයේ ඇතැම් පාසලක මේ නිසාම මනෝ උපදේශන කාර්යය සදහා ද ගුරුවරයෙක් පත් කිරීම සාමාන්‍ය සිරිත වී ඇත.ඔවුන් කිහිප දෙනෙක්ගේ අත්දැකීම් අනුව බොහෝ දැරියන් ගැහැණුන් වි බොහෝ කල්ය.ඒ අනාරක්ෂිත බව විසින් ලද දායාදයන් ඔවුන්ට හිමි වන්නේ අපේ මහා සංස්කීතිය තුළ ලිංගිකත්වය පිළිබදව ඇති සංවෘත භාවය නිසා බව අප අවබෝධ කර ගත යුතුය.
එහෙත් මේ කාරණා පිළිබදව විෂය නිර්දේශයේ නැත.එ් නිසා මහා සංස්කෘතිය ඇතුළත ගුරුවරයෙක් හෝ ගුරුවරියක් ලිංගික ඇසුරක් ආරක්ෂිතවන ආකාරය ගැන පහදන්නට ගියහොත් ඔහුට හෝ ඇයට වන්නේ සිය රැකියාව අහිමි කර ගන්නටය.දරුවන්ට කුණු හරුප කියා දුන් අසික්කිතයෙක් ලෙස පාරට බසින්නටය.එහෙත් එසේ කියා නොදීමෙන් වන්නේ නිසි වයසට පෙර දරු ගැබක් සමග හුදෙකලා වීමට ඇති ඉඩ-කඩ පුළුල් වීමය.
ඒ නිසා නූතණ ගුරුවරයාගේ දැක්ම සහ භාවිතාව ‍එහි උත්තරීතර පරමාර්ථ වලට යටත්ව වෙනස් විය යුතුව ඇත.අනාතය වෙනුවෙන් සමාජය සූදානම් කළ යුතු වගකීම ගුරුවරයා සතුව ඇත.මේ වගකීම ලෙස අද ගුරුවරයාට විෂය භාහිර ක්‍රියාකාරකම් ලෙස ළමුන් පෙළ ගස්වන්නට අණ ලැබෙන්නේ දේශපාලකයන්ට කොඩි වනන්නටය.ඔවුන් ගේ දේශපාලන ව්‍යාපෘති බැබලවීම පිණිස යුධ ජය සමරා යන පා ගමන්වල දී දරුවන් හවුල්කරුවන් කරන්නටය.මේවාට අභියෝග කිරීම එක්වරම කළ යුතුව නැත.එහෙත් ඔට වඩා සාරවත් වූ සමාජ පද්ධතියක් නිර්මාණය කරන්නට අපට ඉඩ ඇත.ඒ සදහා වන මග පෙන්වීම කිරීමට ගුරුවරයාට ඇති ශුද්ධ වූ අයිතිය ඔහුගේම ඇගිල තුඩු අගින් රූටා බිම වැටී ඇත.
දර්ශි ගුරුවරයා සොයා ගැනීම අද සමාජයේ අති දුෂ්කරය.එහෙත් තියෙන සීමාවන් යටතේ හෝ අනාගතය වෙනුවෙන් ඊ ළග පරපුර සැකසීම අඩු-පාඩු ඇතිව හෝ සිදු කරන්නේ ගුරුවරයා බව අප නොකළ යුතුය.එහෙත් එය ගුරුවරයාගේ උත්තම ලක්ෂණ ක්‍රමයෙන් ක්ෂය වී ගිය සමාජ වපසරියක තවත් එක් රස්සාවක් පමණක් බවට පත් වී තිබීම අනාගතය අදට වඩා අයහපත් ලෝකයක් කරනු ඇත.ගුරුවරයා සිටින්නේ උගන්නන්නට නොවන බව මගේ හැගීමය.ඔහු මග පෙන්වන්නෙක් විය යුතුය.යහපත් මිනිසෙක් වන්නේ කෙසේද යන මග පෙන්වීම නිවැරදිව කරන්නේ නම් ඊට වරප්‍රසාද ලෙස මේ සමාජයට වැදගත්,නැණවත් යහපත් නිර්මාණශීලී නිර්භය මිනිසුන් බිහි වනු ඇත.නොසැලී නිසි ලෙස නිසි තැන නිසි තීරණ ගන්නා මිනිසුන් බිහිකීරිමේ වගකීමේ පරමාදර්ශය අත්හළ ගුරු පරපුරක් විසින් අත් කර ගෙන තිබෙන වෘත්තීය ඛේදවාචකය පිළිබද ගුරු වෘත්තීය සමිති මෙන්ම ඒ පිළිබද ප්‍රතිපත්ති සකස් කරන්නන්ද සිතිය යුතු කාලය තවත් ප්‍රමාද නොකළ යුතුය.  
ගුරුවරයා බෝධිසත්වයෙක් වීම නොව සමාජ යථාර්තය තේරුම් ගත් සහ ඒ තුළ තිබෙන අභියෝග දරුවාට හදුන්වා දිය හැකි සහ යුතු නිදහස් මනසකින් වැඩ කළ හැකි පුද්ගලයෙක් වීම අද දවසේ අවශ්‍යයතාවය වී ඇත. 

5 comments:

  1. අද වෙද්දි ටියුෂන් වැහි වැහැල... ඒත් ඒ එක්කින් වත් විනය සදාචාර ආරක්ෂා කිරීම වැනි කරුණු ගැන නිසි බලපෑමක් හෝ ඒ සදහා ඔවුන්නේ උනන්දුවක් නෑ... බොහෝ දුරට පාසලේ උගන්වන ගුරුවරයා හෑල්ලුවට ලක්කිරීම මෙහිදී නිරන්තරයෙන් සිදුවයන්නක්... අනෙක් කාරණය තමා බොහෝ දරුවන් අන්ධානුකරණයෙන් ටියුෂන් ගුරුවරුන්ව වැළද ගැනීස මේ නිසා දුර්ගුණ ඔවුන්නේ මනසට එක්වීමට තියෙන ඉඩකඩ වැඩී...
    අනෙක් දේ නං හුගක් අම්මල ළමයිව සමාජගත කරන විදිය අනෙකාව හෙලා කතා කිරීමහුගක් අම්මල තුල මං දැකල තියන දෙයක් නොදැනුවත්වම ළමය මේ දේවල් අනුකරණය කරන්න යනව.. ඌ කොන්වෙනව සහ නොදැනුවත්වම සමාජ විරෝධියෙක් වෙන්න තියෙන ඉඩකඩ වැඩී...
    සරලව කියනව නං අම්මල ළමයිට ආත්මාර්ථය පුරුදු කරවනව... ළමයි පුරුදු වෙනව සහ සමාජය තුල කොන්වෙනව... ඒ තුලිං ඒ බිහිවෙන එකාගෙන් සමාජයට මෙලෝ වැඩක් නැතිව යනනව

    ReplyDelete
  2. මේකනම් වෙනම කතාවක්.අපි ඉන්න ගෙදර නිමා වෙන්නෙ ටියුෂන් පංතියකින්.උගන්නන්නෙ සැමියා බිරිද සහ නැන්දම්මා හැටියටයි කියවෙන්නෙ.සාමාන්‍ය පෙළ පංති වලට ගණිතය,විද්‍යාව වගේම සිංහල වැනි විෂය ධාරාවන්ද එකම කෙනෙක් ඉගැන්වීම මෙහි සිදු වෙනවා.සැමියා කරන්නෙ ඉංග්‍රිසි.මේ පංතියට අපේ වැසිකිළිය ළග ඉදල මීටර් 2 ක් ඇති නැති තරම්.හදිසියෙ හයියෙන් වාතයක් ගියොත් පංතියෙ ළමයින්ගෙ හිනාවක් එන දුර.ටකරන් ටිකකින් වහල තියෙන්නෙ ඒ පැත්ත.මම හිතන්නෙ ඒ අයගෙ දැණුමට අනුව ශබ්දය ටකරන් වලින් පිටවීම වළක්වනවා කියල හිතිල ද දන්නෙ නැහැ.අම්මල තාත්තල මේ ගැන හිතන්නෙ නැහැ.මෙතන තමයි අවුල තියෙන්නෙ.ඉගෙන ගන්න තැන ප්‍රමිතිය මොකද්ද කියල ඒ අය හිතන් නැහැ.දරුවන්ට වැසිකිළියක මුහුණට හැරවූ පංතියක එම වාතය වගේම අවට අයට ශබ්දයෙන් හානි සිද්ධවීම මේ අයට වැඩක් නැහැ.පාසල්වල අධයාපන කටයුතු කෙරෙන ආකාරය ගැන පතුරු ගහනවා.මේ තියෙන බාධාව ගැන වැල්ලම්පිටිය පොලිසියට ගමේ බහුතරයක් පැමිණිලි කළා.ඒත් පොලිසිය ලොකු ජරාවක් කාලා ද කොහෙද අද වෙන තුරු පරික්ෂනයක් කළේ නැහැ.ඒ වගෙම මේ විදිහෙ ආයතන පවත්වගෙන යන්න ග්‍රාමසේවකගෙ ඉදල ප්‍රාදේශිය සභාවෙ තාක්ෂන නිලධාරියා දක්වා කටයුතු කළේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්.සමාජයෙ කුණු වී ඕජස් ගලන තුවාල වල වසා හෝ බඩ පුරවා ගනින් කියල ඇස් පියාගෙන ඉන්න හුරු වූ පිරිසක් තමයි මේ ටියුෂන් එක කරන්නෙත් ඒකට එන දෙමව්පියනුත්.ඉගෙනීම වෙනුවෙන් ගෙවනසල්ලි තමයි මේ අයට වැදගත්.ඒ අයට කියන්න පුළුවන් මේකෙ ශබිදව පිටවීම වළක්වන්න කියලා,වැසිකිළියෙ කටට ඇරිල තියෙන නිසා බැම්මක් ගහන්න කියල.ඒ අයට වැදගත් නැහැ.ඒ වගේම රාජ්‍ය ආයතන වෙන වැල්ලම්පිටිය පොලිසිය වගේම කොළොන්නාව ප්‍රාදේශිය සභාව හෝ නගර සබාව මේ සදහා අවසර දීම ගැන හිතන්නකො.දන්න කෙනෙක් ඉන්නවනම් ඇවිත බලන්න මේක තියෙන්නෙ කොළොන්නාව සාලමුල්ල බදුවත්ත පාරෙ

    ReplyDelete
  3. අවසානයේ මෙන්න මේ කියන දේ වෙනවා නම්, අද සමාජයේ ගුරුන් හා සිසුන් පිලිබඳ විවාදාත්මක මාතෘකා අවම කරගන්න පුළුවන්.

    //////////ගුරුවරයා බෝධිසත්වයෙක් වීම නොව සමාජ යථාර්තය තේරුම් ගත් සහ ඒ තුළ තිබෙන අභියෝග දරුවාට හදුන්වා දිය හැකි සහ යුතු නිදහස් මනසකින් වැඩ කළ හැකි පුද්ගලයෙක් වීම අද දවසේ අවශ්‍යයතාවය වී ඇත. //////////////////////////

    ReplyDelete
    Replies
    1. මේක ටියුෂන් ගුරුවරයෙක්ගෙන් හරි වෙනවනම් කමක් නැහැ

      Delete
  4. වැදගත් අදහසක් මචෝ. ළමයින්ට පොත්පත් වලින් දෙන දැනුම විතරක් ප්‍රමාණවත් නෑ. ප්‍රායෝගික අත්දැකීම් නැතුව ලබාගන්න දැනුම ඒ තරම් ප්‍රයෝජනවත් නෑ. ළමයින් පොතපතින් දැනුම ලබාගැනීමට අමතරව ප්‍රායෝගික ලෙස අත්දැකීම් ලබාගැනීමට යොමු කළයුතුයි.

    ReplyDelete