Tuesday, April 29, 2014

ඕං කණෝ පිණුම්

 Photo: ලෝක සාහිත්‍යය තුළ ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් සුවිශේෂී ‍ලේඛකයෙකු වන්නේ ඇයි?

- ආචාර්ය ලියනගේ අමරකීර්ති විසිනි

නවකතා ලෝකය හෙල්ලූ ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙකු පසුගිය බ්‍රහස්පතින්දා මියගියේය. හේ කොලොම්බියානු ‍ලේඛක ගේබ්රියෙල් ගාර්ෂියා මාර්කේස්ය. ඔහුගේ මරණය වෙනුවෙන් කොලොම්බියාව දින තුනක නිල ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ අතර ලංකාවේ අපි අවුරුදු නිවාඩුව ගතකරමින් සිටියෙමු. මා සිටියේ අපේ ගමේ අවුරුදු උත්සවයක කණාමුට්ටිය බිඳීමේ තරගයක් විනිශ්චය කරමිනි. මේ ලිපිය ලියන්නට හිඳගත් මොහොතේ සිටම, ගාර්ෂියා මාර්කේස් මිය යන විට මා කරමින් සිටි දේ නැවත සිහිවන්නට විය.
කණාමුට්ටිය බිඳීම අපූරු තරගයකි. එය ගාර්ෂියා මාර්කේස් පවා කැමති වන්නට ඉඩ ඇති තරගයක් බව මට සිතේ. හොඳින් ඇස් පෙනෙන අයගේ ඇස් වසා අනික් ඉන්ද්‍රියන්ගෙන් ලෝකය ග්‍රහණය කරගෙන එහි සාර්ථකත්වය අත්කරගන්නා සැටි කණාමුට්ටිය බිඳීමේ ක්‍රීඩාවෙන් පුහුණු කෙරේ. “එදිනෙදා සංවේදීතාව“ ඉක්මවා මිනිස් ජීවිතයේ ඇති ආශ්චර්යවත් බව දකින්නට ඉඩ සැලසීම ගාර්ෂියා මාර්කේස්ගේ කතා කලාවේ ඇති ලක්ෂණයකි. එය නම් සෑම විශිෂ්ට සාහිත්‍යකරුවෙකු වෙතම තිබිය යුතු ලක්ෂණයකි.
සිය කෘතිය වෙත තමාගේම කැමැත්තෙන් එළඹෙන රසිකයෙකුගේ ෙදෙනිකත්වයේ දෘෂ්ටිය රචකයාගේ කලාත්මකත්වයේ අසිරිමත් පටලයෙන් වසන සාහිත්‍යකරුවා රසිකයා වෙත ඒ ෙදෙනික දෘෂ්ටිය ඉක්මවූ දැක්මක් ලබා දෙයි. ගාර්ෂියා මාර්කේස් යනු මේ කාර්යය ඉතා ආකර්ෂණීය ලෙස කරන ‍ලේඛකයෙකි. ඔහු එදිනෙදා සත්‍ය ජීවිතය ඇසුරින් ඉන්ද්‍රජාලික යථාර්ථවාදය නිපදවන්නේ අසිරිමත් ආකාරයටය. ඔහු ලියන සෑම වැකියක්ම ඔහුටම ආවේණික වූ ද ආකර්ෂණීය වූ ද ලෝකයක් සේ අපට දැනේ.
ගේබ්රියල් ගාර්ෂියා මාර්කේස්ගේ හුදෙකලාවේ වසර සියයක් නවකතාව 1967දී පළවීම ලෝක සාහිත්‍ය ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් සේ විය. එය පළ වූයේ ලෝකයේ ප්‍රධානම සාහිත්‍ය ශානරය වූ නවකතාව එක්තරා අලුත්ම කලාත්මක අසිරියක් සොයමින් සිටි කාලයකය. නවකතාව නම් සාහිත්‍ය ශානරය අදටත් ලෝකයේ ප්‍රධානම සාහිත්‍ය ශානරයයි. එය විවිධ ස්වරූපයෙන් මතු වෙයි. ඉතා තාත්වික යථාර්ථවාදය ලෙසටත් ඉතා    පර්යේෂණකාමී ස්වරූපයන්ගෙනුත් නවකතාව නමැති කලාව ලොව පෙනී සිටියි. එහෙත් නවකතා කලාව කලින් කලට නව කලාත්මක දේශසීමා  ගවේෂණයද සිදු කරයි. 1922 වර්ෂයේදී ජේම්ස් ජොයිස් නවකතා කලාවේ කලාත්මක දේශසීමාව අතිශයින් පුළුල් කළ ‘යුලිසිස්’ ලිව්වේය. 1914-15 කාලයේ ලියවී 1925දී පළ වූ ප්‍රාන්ස් කෆ්කාගේ ට්‍රයල් නවකතාව ලොමු දැහැගන්වන උපමා කතාවක් නවකතා කලාව වෙත එක් කළේය. ඉන්පසු 1967දී හුදෙකලාවේ වසර සියයක් පළවීම තවත් එවැනි අසිරිමත් සිද්ධියකි. 1980 වර්ෂයේදී සල්මාන් රුෂ්ඩිගේ මිඩ්නයිට්ස් චිල්ඩ්රන් පළවීම එවැනි සංසිද්ධියක් යැයි සැලකේ. එය ගාර්ෂියා මාර්කේස්ගේ අතිවිශාල බලපෑමට යටත් වූ රසවත් නවකතාවකි. දැන් හරුකි මුරකමි අමුතුම නවකතා කලාවක් වර්ධනය කර ඇත.
නවකතා පිළිබඳ ලෝක කතිකාව තුළ මේ හැරවුම් ලක්ෂ්‍යය ගැන කතාබහ පැවතුණද තාමත් ජාත්‍යන්තර භාෂාවලට නැගුණු සේම නොනැගුණු මෙවැනිම පර්යේෂණකාමී නවකතා ලෝකයේ විවිධ සාහිත්‍ය සංස්කෘතිවල මෙකී කාලවකවානුවල හෝ ඊට පෙර සිදුවී තිබෙන්නට ඉඩ ඇත. නිදර්ශනයක් ලෙස තායි ‍ලේඛක කුක්රිත් ප්‍රමෝජ් 1954 වර්ෂයේදී ලියූ නොයෙක් ජීවිත යන අරුත ඇති නවකතාව යුරෝපීය නවකතා කලාව හා බෞද්ධ කතා කලාව මුසු වූවකි. එය ‘මැනි ලයිව්ස්’ යනුවෙන් ඉංග්‍රීසියට නැගී ඇත. 1959දී කුරටු‍ලේන් හයිඩර් නම් ‍ලේඛිකාව උර්දු බසින් ලියූ ආග් කා දාර්යා හෙවත් අග්නි ගංගාව නවකතාව ගාර්ෂියා මාර්කේස්ටත් පෙර ගැඹුරු පර්යේෂණකාරී නවකතාවක් ලියයි. එය බෞද්ධ, හින්දු හා ඉස්ලාමීය සම්භාව්‍ය කතා කලාවන්හි ආභාසය ලබයි. එය රිවර් ඔෆ් ෆයර් යනුවෙන් ඉංග්‍රීසියට නැගී ඇත. ගෝතමාලා ‍ලේඛක මිගෙල් අන්හෙල් අස්තුරියාස්ගේ මෙන් ඔෆ් මේස් නවකතාව 1949දී පළවූ අතර ඇමෙරිකානු මහද්වීපයේ විසූ ඇතැම් ස්වදේශික ඇමෙරිකානු සංස්කෘතීන්ට අයත් ජනප්‍රවාද හා කතා කලාවන්හි ආභාසය ලැබූ අතිශය නිර්මාණශීලී නවකතාවකි. මේ මගේ ඉතා සීමිත දැනුමට හසුවූ කෘතිවලින්ද කීපයක් පමණි.
එහෙත් ගාර්ෂියා මාර්කේස්ගේ හුදෙකලාවේ වසර සියයක් නවකතාව පළවීම නිසා එවැනි පර්යේෂණකාමී ප්‍රබන්ධ රචකයන්ගේ කෘති අගය කරන්නට න්‍යායික හා කතිකාමය අවකාශය නිර්මාණය විය. කෆ්කා වැනි      ශ්‍රේෂ්ඨ ‍ලේඛකයන් තමන්ගේම පූර්වගාමීන් නිර්මාණය කරන බව හෝර්හේ ලුයීස් බොර්හේස් නම්                               විශිෂ්ට සාහිත්‍යධරයා වරක් කීවේය. එය ඉතා අපූරු කියමනකි. ඉන් ඔහු අදහස් කළේ ශ්‍රේෂ්ඨ ‍ලේඛකයන් තමන්ගේ අනුගාමිකයන් නිර්මාණය කරන බව නොවේ. තමාගේ නිර්මාණ කිරීමත් සමග තමා ගිය මග ගිය පූර්වගාමීන් අලුතෙන් හඳුනාගන්නට ඉඩ ලබාදෙන බවය. මේ වූ කලී ගාර්ෂියා මාර්කේස් සම්බන්ධයෙන්ද සත්‍ය වන කරුණකි. ඔහුගේ ප්‍රබන්ධ කතා පළවීමත් සමග ප්‍රබන්ධ රචනා ක්‍ෂේත්‍රයේ ඔහු කළ දේට සමාන දේ කළ තවත් ‍ලේඛක ‍ලේඛිකාවන්ගේ සාහිත්‍යයික ව්‍යයාමය නව අර්ථයකින් නැවත වටහාගන්නට ඉඩ ලැබිණි.

මැජික් යථාර්ථවාදයේ ආශ්චර්ය

මැජික් රියලිස්ම් යැයි ප්‍රකට වූ ප්‍රතිනිර්මාණ විධිය ගාර්ෂියා මාර්කේස්ගේ නිර්මාණයක් නොවුණත් එය ලෝක සාහිත්‍ය සිතියමෙහි කේන්ද්‍රයට ගෙන ඒමට හුදෙකලාවේ වසර සියයක් හේතුවිය. හුදෙකලාවේ වසර සියයක් නවකතාවේ ඕනෑම පිටුවකින් පාහේ මැජික් යථාර්ථවාදය නම් ෙශෙලියට නිදසුන් හොයාගන්නට පුළුවන. මිනිස් දිවියේ ලෞකික හේතුඵල තර්කනය ඇසුරින් විස්තර කළ හැකි ෙදෙනික සිදුවීම් සමග අනපේක්ෂිත මොහොතක ඇදහිය නොහැකි ආශ්චර්යමය සිද්ධි එක්වීම ඒ ෙශෙලියේ ලක්ෂණයකි.
මේ එක් නිදර්ශනයකි. “විශේෂ දූතයෙක් කර්නල් ඔරෙලියානෝ බුවෙන්දියාගේ මුදු මොළොක්
අතින් මෙසේ ලියන ලද කඩදාසියක් ඇතුළත දමා මුද්‍රා තබන ලද ලියුම් කවරයක් රැගෙන ආවේය. “තාත්තව හොඳින් බලා ගන්න. මොකද එයා මැරෙන්නයි යන්නෙ.” “ඔරෙලියානෝ එහෙම කියනවා නම් එයා ඒක දන්න හින්දයි කියන්නෙ” ඇය කීවාය. හොසේ ආර්කාදියෝ බුවෙන්දියා ඔහුගේ නිදන කාමරයට ගැනීමට ඇය ඔවුන්ට උදව් කර තිබුණි. ඔහු කවදත් වගේම ඉතා බර වූයේ පමණක් නොව චෙස්නට් ගස යට ගත කළ දීර්ඝ කාලය තුළ ඔහුට හිතෙන හිතෙන හැටියට සිය ශරීරයේ බර වැඩිකරගැනීමේ විශේෂ හැකියාවක් ඔහු විසින් වර්ධනය කරගෙන තිබිණි. එය කෙතරම් වීද යත් පිරිමි හත් දෙනෙකුට පවා ඔහු ඔසවාගෙන යා නොහැකි වූ නිසා ඔහු ඇඳ වෙත ඇදගෙන යාමට ඔවුන්ට සිදු විය.” මේ වූ කලී නවකතාවේ දහවැනි පරිච්ජේදයෙන් අහඹු ලෙස ගත් කොටසකි. සිය පියා මිය යමින් සිටින බව නිවසින් බැහැරව ඉතා දිගු කාලයක් රණබිමක ගත කරන කර්නල් බුවෙන්දියාට හාස්කමකින් මෙන් පෙනෙන සැටිත්, සිය සිරුරේ බර හිතූ හිතූ තරමට වැඩිකර ගැනීමේ පියාගේ අමුතු ශක්තියත් එම කොටසින් අපට පෙනේ. එම නවකතාවේ පෙරළන පෙරළන තැන පාහේ එවැනි තැන් දැකිය හැකිය. එය ඔහුගේ මායා යථාර්ථවාදී ෙශෙලියේ ලක්ෂණයකි.
එම ෙශෙලියේ දැඩි හෙවණැල්ල මෝහන් රාජ් මඩවලගේ මාගම් සෝලිය නවකතාවේ දක්නට ලැබේ. එහෙත් ගාර්ෂියා මාර්කේස්ගේ මායා යථාර්ථවාදය යනු ඒ ෙශෙලිය පමණක් නොවේ. ඒ ෙශෙලිය ඒ මායා යථාර්ථවාදයේ කොටසක් බව නම් ඇත්තය.
ගාර්ෂියා මාර්කේස්ගේ නවකතා (විශේෂයෙන් හුදෙකලාවේ වසර සියයක් සහ කොලරා කා‍ලේ ආ‍ලේ) ඉතා පර්යේෂණකාමී වුවද සාමාන්‍ය සාහිත්‍ය පාඨකයා කොන් කරන විදග්ධ නවකතා කලාවක් නොවේ. ඔහුගේ ලෝ ප්‍රකට කීර්තියට එක් හේතුවක් නම් නවකතා කියවන සාමාන්‍ය පාඨකයාටද පවා විඳිය හැකි ෙශෙලිමය කලාත්මකත්වයක් ඔහුගේ කෘති තුළ තිබිමයි. ඔහුගේ මෙම මායා යථාර්ථවාදයේ ස්වභාවය ගැන                             නිරීක්ෂණයක් කරන ලතින් ඇමෙරිකානු සාහිත්‍ය පිළිබඳ     විශේෂඥයකු වූ මහාචාර්ය ජෝන් එස්. බ්‍රෂ්වුඩ් මෙසේ කියයි. හුදකලාවේ වසර සියයක් නවකතාවේ (නිරූපිත) යථාර්ථය ඉතා අමුතු එකක් වුවද දුෂ්කර ආඛ්‍යාන ශිල්පක්‍රම මගින් ගොඩනගන ලද සීමා බාධක නොමැති නිසා එය පාඨකයාට සම්පූර්ණයෙන්ම තේරුම් ගත හැක්කකි.” (මොඩර්න් ක්‍රිටිකල් වීව්ස්: ගාර්ෂියා මාර්කේස් - 1988 පිටුව. 227) මෙය නිවැරදි   නිරීක්ෂණයකි. එහෙත් ඔහුගේ කෘති හුදෙක් පවතින්නේ සාමාන්‍ය ජනයාගේ සාමාන්‍ය දැනීමේ මට්ටමේ නොවේ. තේමාත්මක ගැඹුර ඇත්තේ කාටත් පාහේ විඳිය හැකි ආඛ්‍යානයක කේන්ද්‍රීය රූපකය වෙතය. එය අවශ්‍යයෙන්ම සෑම පාඨකයෙකුටම එකවර වැටහී යන්නක් නොවන්නට ඉඩ ඇත.

සියලු දෙයෙහි යථාර්ථය

සියක් වසරක හුදෙකලාව කෘතිය ලතින් ඇමෙරිකානු මහද්වීපයට ආවේණික ස්වභාවිකත්වය, එහි මිනිසුන් ජනකතා, ගමකතා, විහිළු, යාන්හෑලි, පුරාණෝක්ති සියල්ල එකට කැටිකරගත් දැවැන්ත රූපකමය ගොඩනැංවීමකි. එය මදක් කියවාගෙන යන විට අප වසන ලොවට වඩා වෙනස් හේතුඵල තර්කනයකින් යුතු අමුතු ලොවක් වෙත පිවිසුණාක් මෙන් අපට දැනේ. ගාර්ෂියා මාර්කේස් මේ ලෝකය ගොඩනගන්නේ කොලොම්බියාවේ සැබෑ ඉතිහාසය වටාය. නවකතාවේ එන ප්‍රබන්ධමය නගරය වන මැකොන්දෝවේ නැග්ම, අර්බුදය හා වැටීම ගාර්ෂියා මාර්කේස් උපන් අරකතාසා නගරයේ ඉතිහාසයට සමාන්තර බව දැන් ප්‍රකට කාරණයකි. (එම නගරය අරකතාසා - මැකොන්දෝ යැයි නම් කරන්නට ජනමත විචාරණයක් පවා පසුකලෙක පැවැත්වුවද එය අසාර්ථක විය) වරක් එන්පීආර් ගුවන්විදුලිය සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ ගාර්ෂියා මාර්කේස් මෙසේ කීවේය. “මගෙ ජීවිතේ පැහැදිලි දෙබෙදුමක් තිබුණා. එකක් තමයි මගෙ සීයගෙ දැඩි යථාර්ථවත් ලෝකය. ඒකෙ තිබුණෙ ඔහු කර්නල් කෙනෙක් හැටියට සහභාගි වූ සිවිල් යුද්ධවල ඉතිහාසෙ. ඊළඟට මගෙ ආච්චිගෙ ලෝකෙ. ඒක සම්පූර්ණයෙන්ම  යථාර්ථයෙන් පිට තිබුණු ෆැන්ටසිමය ලෝකයක්. මේ කතා වර්ග දෙකම අද අපි හුදෙකලාවේ වසර සියයක් නවකතාවේ දකින ලෝකය ගොඩනගන්නට දායක විය.
ගාර්ෂියා මාර්කේස් දශක පහක් පමණ ජීවත් වූ මෙක්සිකෝවෙන් බිහි වූ ලෝ ප්‍රකට ‍ලේඛක කාර්ලෝස් ෆුවෙන්තේස් සිය පරම්පරාවටම අයත් මිතුරු ‍ලේඛකයා ගැන අපූරුවූද සංකීර්ණ වූද රචනාවක් විය. හුදෙකලාවේ වසර සියයක් නවකතාවේ සංරචිත යථාර්ථයේ අඩංගු වනදේ ෆුවෙන්තේස් මෙසේ විස්තර කරයි. මැකොන්දෝව නිවැරදිව දැන ගැනීමට නම් සියලු “සැබෑ” ඉතිහාසයද සියලු “ප්‍රබන්ධමය” ඉතිහාසයද, උසාවි මගින්  පිළිගන්නා  සියලු සාක්ෂිද , මහජන  වාර්තා තබන්නන් විසින් සහතික කරන ලද සියලු සාක්ෂිද, වැඩිහිටියන්  බාලයන්ට කියූ අවිවාහකව වයස ගිය ස්ත්‍රීන් පූජකවරුන්ගේ කනට කොඳුරා කියූ යකැදුරන්  විසින් මැදියම් රැයේ ඇවිස්සූ  විකටයන් විසින් නගර චතුරශ්‍රයේ රඟදැක්වූ කටකතා ජනප්‍රවාද, ඕපදූප, සාවද්‍ය ආගමික කතා, අතිශයෝක්තීන් ආදියද කිසිවෙකු විසින් ලියා නොතබන ලද උපමා  කතාද මැකෝන්දෝ යථාර්ථයට අයිති බව දත යුතුය. මැකොන්දෝවේ සහ බුවෙන්දියා පවු‍ලේ මේ සාගාව කටකතාවේ එන ඉතිහාසයද ජනප්‍රවාදයද  ඇතුළත් සමස්ත  ඉතිහාසයක් නිසා නිල වූද ලියා තබන ලද්දා වූ ද ඉතිහාසය ඒ කාලය වටහා ගැනීමේලා අප්‍රමාණවත් බව අපට කියනු ලැබේ. එපමණක් නොව             පුරුෂයන් සහ ස්ත්‍රීන්  විසින් දකින ලද සිහින, පරිකල්පනය කරන ලද දේ ආසා කරන ලද දේ නම් කරන දේ යන සියල්ල මේ ඉතිහාසයට අයිතිය. (ෆුවෙන්තේස්ගේ ලිපිය “මයි සෙල්ෆ් විත්  අදර්ස්” කෘතියේ අඩංගු වේ.)
ෆුවෙන්තේස් කියන දේ නිවැරදිය. ගාර්ෂියා මාර්කේස් ලියූ ආකාරයට ලියූ ෙශෙලිමය පූර්වගාමීන්  කතෛකුත් සිටියද ඔහු ගොඩනගන ‘සමස්ත’ යථාර්ථයක්  සංරචනය කරන්නට හැකිවන්නේ ඔහුටය. හුදෙකලාවේ  වසර සියයක් නවකතාවේ ආරම්භයේදීම පිටිසර වූද ශිෂ්ටාචාරයෙන් දුරස්ථ වූද ප්‍රාථමික නිද්‍රාවක තාමත් ගැලී  සිටින්නා වූද මැකොන්දෝ  නමැති කුඩා  ජනපදය වෙත එන අහිගුණ්ඨික කණ්ඩායමක නායකයෙකු වන මෙල්කියාදේස් විශාල කාන්දම්  කෑලි දෙකක් රැගෙන එයි. ඒ කාන්දම්  කෑලි රැගෙන යන යන තැන අහුමුළුවල සැඟව තිබුණ යකඩමය දේවලට පණ ඇවිත් කාන්දම් වෙත ඇදේ. මේ මැකොන්දෝ  වෙත නූතනත්වයේ පළමුවැනි මහා පුදුමයයි. මෙල්කියාදේස් මෙසේ කියයි.
“දේවල්වලටත් ඒවටම ආවේණික ජීවිතයක් තියෙනවා. කළ යුතු දේ තමයි ඒවාගෙ ආත්ම ඇහැරවල  ගන්න එකයි.”
මා දකින හැටියට ගාර්ෂියා මාර්කේස් ප්‍රබන්ධ කතා ලියූ පෑන මෙල්කියාදේස්ගේ කාන්දම්  කෑලිවලටත්  වඩා බලගතුය.  ඔහුගේ පෑන ඉතා අප්‍රාණික දේවල පවා ආත්මය අවදි කරවයි.  මිනිස් තර්කනය  පමණක් “සැබෑ ප්‍රාණය” සේ දකින නූතන මිනිසුන්  වන අපි ඔහුගේ පණ දීමට මායා යථාර්ථවාදය යැයි කියමු.
හුදෙකලාවේ වසර සියයක් අපූරු නවකතාවක් බව ඇත්තය. එහෙත් ඔහුගේ නවකතා අතර වටහා ගැනීම වඩාත් දුෂ්කර නවකතාවක් සේ මට දැනෙන “ඕටම් ඔෆ්ද පේට්‍රියාක්” කෘතිය  අද අපට එන්න එන්නම අදාළ  වන සෙයක් දැනේ.  එහි සංරචනය කෙරී ඇත්තේ  ජනතාව විසින් බියෙන්, භක්තියෙන්, දේවත්වයෙන් සලකන ගෝත්‍ර  නායකයකු ඒකාධිපතියෙකුගේ රටකට සිදුවන දේය. නම් නොකරන ලද කැරිබියානු රටක වසන මේ මිලිටරි ඒකාධිපතියා අඩු තරමින් අවුරුදු දෙසීයක් වත් ජීවත් වෙයි. ඔහුගේ  බලය කොතරම්ද යත් ඔහු අණ  කළ විට කාලය ගමන් කිරීමද නවතියි. එපමණක් නොව කාලයට ආපසු  යන්නට අණ කරන්නටත්  ඔහුට පුළුවන.  ඔහු සිය බලය බෙදා හදා ගන්නේ සිය පවු‍ලේ අය සහ ‍ලේ  ඥාතීන් සමග පමණි. ඔහු පාලනය කරන රටේ සියලුම දේවල ඔහුගේ නම ඇති අතර වහු පැටවුන්  පවා උපදින්නේ මේ පාලකයාගේ නම දරාගෙනය. එය වූ කලී  ගුවන් තොටු‍පොළ, වරාය, පාසල්  වැනි දේ  පාලකයා නමින්  කිරීමේ ක්‍රියාවලියේම මායා යථාර්ථමය දිගුවකි. එපමණක්  නොව නවකතාවේ  ඇති ඔහු  ඔහුගේ මගේ  ආදී සියලු  සර්වනාමවලින් හැඳින්වෙන්නේ පාලකයාම මිස අනිකෙකු නොවේ. ඔහු  තමාගේ නොවන , තමා පිණිස නොවන, තමාගෙන් හට නොගත්තා වූ , තමා සමග නැති සියල්ල විනාශ කරයි. එහෙත්  ඔහු උපතින් ගෙනා සීමාවන් ද ඇති සීමාසහිත මිනිසෙකි. ඌරෙකු  තරම් විශාල  අණ්ඩකෝෂයක් ද ඇති මේ ඒකාධිපතියා සිය ජීවිත කාලයම හර්නියාවෙන් වේදනා විඳියි. ලෝක ධනවාදීන්ගේ නොමද අනුග්‍රහය ලබන මේ පාලකයා  සමස්ත රටම අපායක් කර, සමස්ත ජනතාවම  වනචාරී වියරුවකට ඇද දමයි.  එවැනි අසීමිත අපරීක්ෂිත  ඒකාධිපති  වියරුවක් වර්ධනය වීමට ඉඩහල ජනතාවක් වෙත සෘජු  විවේචනයද ඉතා සීරුමාරුවෙන් සිය මනරම්  ගද්‍ය වෙත රිංගවන ගාර්සියා  මාර්කේස් අසීමිත බලකාමය පිළිබඳ ලොමු දැහැගැන්වෙන රූපයක් ගොඩනගයි.

වමේ ‍ලේඛකයෙකු ලෙස මියගිය ධනවත් ප්‍රබන්ධ රචකයා

ගාර්ෂියා මාර්කේස් සැලකෙන්නේ කියුබානු නායක ෆිදෙල් කැස්තේ‍රා් සමග අඛණ්ඩ මිත්‍රත්වයක්  පවත්වා ගත් ‍ලේඛකයෙකු ලෙසයි. ඔහු සමාජවාදී  ලෝකයක් පිළිබඳ මියෙන තුරුම විශ්වාස කළේය.
එය දේශපාලනික වශයෙන් කෙතරම් දැනුවත් විශ්වාසයක්ද යන්න මම නොදනිමි. එහෙත් ඔහු ඇමෙරිකානු අධිරාජ්‍යවාදය සහ ධනවාදය ලතින් ඇමෙරිකානු  කලාපයට  කළ විනාශය ගැන නිතරම ලිව්වේය. හුදෙකලාවේ වසර සියයක්  නවකතාවෙහි පවා එය දැකිය හැකිය. ඔහුගේ සමාජවාදය   පිළිබඳ විශ්වාසය සමග ඔහුගේ  සාහිත්‍ය කලාව සම්බන්ධ කරන්නට ඔහු නිතර තැත් දැරුවේය. ඒ නිසා ඔහු වරක් මෙසේ  කීවේය. “හුඟක් දෙනෙක් විශ්වාස කරනවා මම ෆැන්ටසිමය ‍ලේඛකයෙක් කියලා. ඇත්තටම මම යථාර්ථවාදී කෙනෙක්. මම ලියන්නෙ සැබෑ සමාජවාදී යථාර්ථවාදය කියල මං විශ්වාස කරන දේ.”
මා ඉහතින් විස්තර කරන්නට තැත් කළේ ගාර්ෂියා මාර්කේස් සැබෑ සමාජවාදී යථාර්ථවාදය යැයි  හඳුන්වන දෙයයි. එය වූ කලී කෆ්කා, ෆෝල්කනර්, ජොයිස්, වර්ජිනියා වුල්ෆ් සේම ඩිකන්ස්, ටොල්ස්ටෝයි ද අඩංගු කරගත් සමාජවාදී  යථාර්ථවාදයකි. එහෙත්  අප රට සාමාන්‍යයෙන් සමාජවාදී යථාර්ථවාදය යැයි සැලකෙන්නේ කෆ්කා හතුරෙකු ලෙස දකින්නට ලූකාශ්ගෙන් උගත් සමාජවාදී  යථාර්ථවාදයයි. ගාර්ෂියා  මාර්කේස්ගේ මරණය අඩු තරමින්  ඒ වරද ගැනවත් යළි සිතන්නට අප නො‍පොළඹවන්නේ
නම් ඔහුගේ මරණයත් අපේ රටේ සිදුවන  සියලුම මරණ මෙන් මරණ බිය හැර අන්  කිසිම දෙයක්      නූගන් වන නිරර්ථක මරණයක් වන්නේය.

ලක්බිම ඉරිදා සංග්‍රහය


එදිනෙදා සංවේදීතාව“ ඉක්මවා මිනිස් ජීවිතයේ ඇති ආශ්චර්යවත් බව දකින්නට ඉඩ සැලසීම ගාර්ෂියා මාර්කේස්ගේ කතා කලාවේ ඇති ලක්ෂණයකි. මේ වචන ටික මම ණයට ගත්තේ ලියනගේ අමරකීර්ති ලියු සටහනකින්ය.ඒ ගාර්ෂියා මාර්කේස් ගැන ඔහු ලියන සටහනකින්ය.මාර්කේෂ් මරණය ගැන අමරකීර්ති දැන ගන්නා විට ඔහු ඉද ඇත්තේ ගමේ අවුරුදු උත්සවයකය.ඒ කණා මුට්ටිය බිදීම විනිශ්චය කරමින්ය.
ඔහු එතැන සිට කණා මුට්ටිය බිදීම සහ මාර්කේෂ්ගේ ඉන්ද්‍රජාලිකවාදය ගැන අපූරු ගැලපීමක් කරන්නට සූදානම් වෙයි.ණයට ගත්තේ ඒ ගැන කියන වචන ටිකය.
ඇස් බැන්දාම පේන්නෙ කොහොමද?එවිට අනෙකුත් ඉන්ද්‍රියන් පෙනීමේ අඩුව පිරිවීම සදහා සංවේදී වන්නේය.කණට ඇසෙන හඩවල් සුළගේ සැළෙන තුරුපත් පවා මෙසේ ඇස් බැදි කණෙකුට නිවැරදි ඉලක්කයට යන්න පාර පෙන්නන්නේය.ඒ සදහා ක්‍රියාත්මක වන්නේ හිතය.තව විදිහකට කියන්නේ නම් මේ සදහා අතිශයින් වැදගත් වන්නේ මානසික ඒකාග්‍රතාවය ය.පොළව පයට ස්පර්ශ වන්නේ කෙසේද?ඒ වෙනස්කම් සිය මනසින් අල්ලා ගන්නට කණා දන්නේය.එය ද ශබ්දය මනසින් අල්ලා ගන්නා ආකාරයේම වැඩකි.
මේ වැඩේට ඉව කිරීමේ හැකියාව කියා කියන්නට ද පුළුවන.ඉව හා බැදුණු ජෛව විද්‍යාත්මක කතාව හරියටම කියන්නට නොදැනිම ගැන කණගාටුය.ඒ නොදන්නා නිසාය.නමුත් කණා මුට්ටියේ දී ඉතා හොද මනසින් නොපෙනෙන ඇස වෙනුවට අනෙකුත් ඉන්ද්‍රීයන් ඒකාතිමික කළ යුතුය.
නමුත් මට අමරකීර්ති කියන මේ කණාට වඩා අපේ සමාජය තුළින් පේන්නේ කණා මුට්ටිය බිදින්නට යන කණා වටා රොක් වී කෑ ගසන පිරිසය.පොල්ලක් අතේ ඇති ඇස් බැදපු මිනිහෙක් වටේ එක් වී ආතල් එකට කෑ ගසන ඔව්හූ මේ පොල්ලේ අවදානම නොදකින්නේය.කොයි මොහොතක හෝ මේ හඩ සංඥා වලට අනුව කණා ක්‍රියාත්මක වුවහොත් වටේ ඉන්න එකෙක්ගේ ඔළුව පැණි මුට්ටිය බින්ද ගාණට ඉහිරි යන්නට පුළුවන.
දැන් හුග දෙනෙක් වැඩ කරන්නේ අන්ධයා අතට පොල්ල දී ඔහුට හුරේ දමන මානසිකත්වයෙන් බව පැහැදිළිය.අන්ධයාට කිසිවක් නොපෙනෙන බව පැහැදිළිය.නමුත් අතේ ඇති පොල්ලෙන් ඔහු ගහන කණේ පාරවල් වලින් යමක් කඩා වඩා ගැනීම පිණිස ඔහු වටා රොක්වන කිසිවෙක් මේ පොල්ලේ අවදානම නොදකින්නේය.විටෙක මේ අන්ධ හැසිරිම තුළ තමා හෝ තමාගේ ඥාතියා හෝ මිත්‍රයා ද ගොදුරක් විය හැකි බව මේ අන්ධයා පසුපස යන විට නොදැනීම හෝ නොහැගීම කාලීන ගැටළුවය.මෙය දකින විට හැගෙන්නේ ඇස් බැදි එකාට පමණක් නොව ඇස් නොබැදි එවුන්ටද දැකීමක් හෝ පෙනීමක් නොමැති බවය.
ඇතැම් කණුන්ට අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට යැයි බලය දුන් විට ඔහු වෙනත් ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිට එහි වරප්‍රසාද භුක්ති වදිමින් බලය දුන් එකාට කොකා පෙන්නන්නේය.එහෙත් ඊ ළග අවස්ථාවේදී ඔහුට බලය එන්නේය.ඒ ඔහුට ද බලය ප්‍රදානය කරන්නන්ටද ප්‍රතිපත්තියක් නැති නිසාය.ඒ මේ දකින සියළු පිණුම් සහ පැණුම් කණා පිණුම්ය.කණා පැණුම්ය

No comments:

Post a Comment